Monday, February 6, 2017

නවකතා විමසුම....හෙයියමාරුව...




                                              හෙයියම්මාරුව..ඒ.වී.සුරවීර..

               හැත්තෑව දශකය නියෝජනය කළ අපූරු නවකතාවක් ලෙස හෙයියම්මාරුව නවකතාව හදුවන්වා දියහැකි ය. ගුණපාල, සේතං, රූපසිරි , සොපිහාමි, ජෝකිනු  සහ ඔහුගේ සහෝදරයා, ඔහුගේ බිරිදපයන අය මෙහි කැපී පෙනෙන චරිත වෙයි..ආර්ථික පීඩා හමුවේ නිර්ධන පන්ති සමාජයට පත් වන අවාසනාවන්ත ඉරණම මෙයින් මනා ලෙස දක්වා ඇත. ජෝකිනු ජීවත් වන්නේ දුගී දුප්පත් සමාජ පසුබිමක් තුළ ය. ධනපති පන්තියට වහල් මෙහෙය කිරීමට ඔහුටත් පවුලටත් සිදුවන්නේ එමනිසාවෙනි..
     
           ඔවුන්ට ජීවත් වීමට සිදු වන්නේ එදිනෙදා කටයුතුවලට පවා ණය වීමෙනි. පොඩි උන්ට හෝ තම්බා දෙන්න සිතා සහල් ගැන්‍මට කඩයට ගියද ඔවුන් කියන්නේ ණය පියවනාතෙක් බඩු දීමට නොහැකි බව ය. කඩය තමගේම සහෝදරයාගේ ය.එනමුදු දුප්පත් කම් අභියස සහෝදරකම් යටපත්ව යනු දැකිය හැකි ය. ගුණපාල ඉගෙනුමට හපනා ය.නමුදු ඔහුගේ ද දියුණුවට හරස් වන්නේ මෙම ආර්ථික පීඩාවම ය.


" තාත්තෙ, නෝනා මහත්තයා කිවුවා කොපි පොතක් ගෙනිච්චෙ නැත්නං ලොකු මහත්තයා ළගට අරිනවා කියල."

            කුසට අහර නැතිවුවද දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවන් පැමිණවිය නොහැකි ය. මෙබැවින් ඔවුන්ට ධනය ඇත්තවුන් පසුපස හඹා යන්නට සිදු විය..ඔවුන් හෙයියමාරුවෙහි පදිංචියට යනුනේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ගුණපාල හෙයියමාරුවෙහි පාසලට ඇතුලත් වන අතර ඔහු එහි දක්ෂ ලෙස අධ්‍යාපනය හදාරයි. තමන්ගේ ලේ නෑයන් වුවද ඔවුනට කිසිම දෙයක් උදෙසා කඩේ දෙමහල්ලන්ගේ සහය නොලැබෙයි. කඩේ නෑනාගෙන් ඇයට කොටහලු ගෙදර බැදගෙන යාමට මාලයකු ඉල්ලූ විට ඇය දුන්නේ මෙවැනි පිළිතුරකි.

" දෙංඩ තරං මාලයක් නෑ. මේ තියන එවුවා බැඳගෙන ඔය බස්වල ගියහම ගල් ගැලවෙනවා.ඊටත් තමංගේ ගෙදරටනේ යන්නේ. කොහොම ගියාම මොකෝ."

          ජීවිතය ජීවත් කිරීම අපහසු ය.මිල මුදල් හිඟ වූ විට ජීවිතය විඳවන්නට සිදුවනුයේ එබැවිනි.වළව්වේ රාළහාම් නම් පවසන්නේ එහි තියෙන දෙයක් තබාගෙන කෑවාට වරදක් නොවන බව ය.පොල් ගෙඩියක් වුවත් කඩෙන් ගැනීම මදිකමක් ලෙස ඔවුන් සිතයි..මෙසේ අගහිගතා මැද ජීවිතය ගෙවෙද්දී ගුණපාල ශිෂ්‍යත්ව විභාගය සමත්ව නගරයෙහි පාසලට යයි. ඔහු ගෙදරට වඩා බෝඩිම ප්‍රිය කරන්නේ ගෙදර ජීවිතයේ කටුකත්වය හෙයිනි. උක්කුං, නංගී දකින විට ඔහුට දුක වැඩිය.මෙම අප්‍රියකාරී දසුනෙන් මිදෙනුවස්   ඔහු බෝඩිමම ප්‍රිය කළේ ය.

        අවසානයේ මෙම පවුලට සිදුවූයේ කුමක්ද?  මැම්බර් වැනි අයහපත් මිනිසුගේ ඇසුර නිසා ජෝකිනු හිරේ යාම ය.අසරණ දරු පවුලක් තනි විය..ගැහැණියකට පිරිමියෙකු සමීපයෙහි නොමැතිවිට නොයෙක් පීඩාවන්ට මුහුණ දීමට සිදු වෙයි. සොපිහාමි කෙරෙහි මැම්බර්ගේ ඇස යොමු වනුයේ එහි ප්‍රතිඵලය වශයෙනි.

" අනේ අසරණ අපි මොනව දෙන්නද නැම්බර මහත්තයෝ.."

" දෙන්ඩ දේවල්ද නැත්තෙ? හොදා මං පස්සෙ එඤ්ඤංකෝහ්.."

               අවසානයේ ඉඩම ගැන්මට මැම්බර්ට ලිංගික අල්ලසක් දීමට පවා සිදු විය.මෙයින් ඇගේ කුසට දරුවකු ලැබෙන අතර ඇය රොයිදා වෙදාට කියා ගබ්සා කරගැන්මට යාමෙන් මරණයට පත් වෙයි. ගුණපාල හොදින් ඉගෙන තමන්ට වූ දුෂ්කරතා ගමෙහි සෙසු දරුවන්ට වනු වළක්වනු පිණිය නොමිලේ දරුවන්ට උගන්වයි. පන්සලේ හාමුදුරුවන් හා එකතුව තරුණ සමාජ පිහිටුවමින් ගම දියුණු කිරීමට කටයුතු කරයි...නොයෙක් බාධක බැද ගෙවන ජීවිත තුළ පත්වන ඉරණම මැනවින් නිරූපණය කළ නවකතාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.

1 comment: