Wednesday, December 21, 2016

නවකතා මතකයන්...විරාගය

විරාගය - මාර්ටින් වික්‍රමසිංහ



                                       මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තෙලිතුඩින් නිමවූ අපූරු නිමවුමක් ලෙස "විරාගය" නවකතාව පෙන්වා දිය හැකිය.රාගයද,ප්‍රේමයද නැතිනම් ඔහු තුළ වූයේ විරාගයද යන්න පාඨකයා තුළ විමසුමට ලක් වූ කෘතියක් ලෙස පෙන්වාදිය හැකිය.මෙහි ප්‍රධාන චරිතය බවට පත්වන්නේ අරවින්ද නම් තරුණයෙකි.අරවින්දගේ පියා සිංහල වෛද්‍යවරයෙකි.ඔහු උපයා ගන්නා සීමිත මුදලින් බිරිය හා දුවත් අරවින්දවත් පෝෂණය කරනු ලබයි.පියාට අවශ්‍යය වන්නේ අරවින්ද දොස්තර මහත්මයකු වනු දැකීමය.නමුත් අරවින්දට එය අනවශ්‍යය වෙයි.දියණියවත් හොඳ දෑවැද්දක් සහිතව ධර්මසිරිට විවාහ කර දෙයි.දොස්තර මහත්මයකු වනු දැකීම,විශාල දෑවැද්දක් සහිත විවාහ සමාජයේ ඉහළ පෙළෙහි වැජඹීමට දරන ප්‍රයාසයන් ය.
                                       
                                      අරවින්දගේ හිත බැදුනේ සරෝජනී කෙරෙහිය.සරෝජනීගේද හිත අරවින්දට ලෙන්ගතු විය.නමුදු අරවින්දගේ ප්‍රේමය ඉස්මතු කිරීමට ඔහු අසමත්ය.මෙබැවින් දෙමාපිය කැමැත්ත ඇතිව සරෝජනී සිරිදාස සමඟ විවාහ වෙයි.මාස තුනක් පමණි රෙ‍ා්ගීව හිදීමෙන් අනතුරුව අරවින්දගේ පියා මිය යයි.අරවින්දට වගකීමෙන් කටයුතු කිරීමට සිදුවන්නේත් මේකලාගේ මසුරුකම් ඉස්මතු වන්නේත් මෙතැන් සිටය.පියාට වියදම් වූ ඒවාට හිලව් කියමින් ඇය මහගෙදර බොහෝ දගෙනියන්නට වූවා ය.අවසානයේ ඇය මහගෙදරද ඔවුන් සතුකරගනියි.විවාහයත් සමඟ පුද්ගල ජීවිතයේ සිදුවන වෙනස්කම් තම තමන්ගේ ජීවිත සුඛෝපභෝගි කරගැන්මට ලේ ඥාති බැඳීමී පවා හේතු කාරණා නොවන බව මෙයින් ඉස්මතු වෙයි.

                                        මෙම සිදුවීම් නිසා මව වෙනත් නෑ නිවසක නැවතීමට යක්නේ දියණියගේ අකටයුතුකම් තවත් දැකීමට අකමැති හෙයිනි.ඉන්පසු නිවසෙහි අනුලාත්,ධර්මදාසත් ඔවුන්ගේ පුතු වන සිරිමලුත්,අරවින්දත් තනිවිය.අරවින්ද රසායන විද්‍යාව අත්හදා බැලීම් වලට රුචි කරයි.මෙම නිසා ඔහුගේ පරීක්ෂණයක් අවසානයේ පිපිරීමෙන් ඔහුට ඇගිල්ලක්ද අහිමි වෙයි.යෙින් පසුව සිරිමල්ව අරවින්දගේ කාමරයට යැවීමට පවා දෙමහල්ලෝ භිය වූහ.මෙම හේතු නිසා අරවින්ද වෙනම ගෙයක් කුලියට ගන්නා අතර එහි ඔහුගේ මෙහයට ගුණවතී හා ඇගේ දියණිය බතී නවතා ගනු ලබයි.

                                        අරවින්දගේ ජීවිතය තුළ ගැහැණුන් දෙදෙනෙකු සැරිසරනු දැකිය හැකිය.ඒ සරෝජනී හා බතී ය.බතීට ඔහු තමන්ගේ දරුවෙකුට සේ ඉගැන්වීමට රුචි කළද ඇය වල් කෙල්ලක බවට පත් වෙයි.ඇය ජිනදාස නම් තරැණයෙකුට පෙම් බැදීම නිසා ඇයව ඔහුට විවාහ කර දීමට ඔහු තීරණය කරය.අවසානයේ අරවින්ද රෝගී වන අතර තම පියාට මෙන් සලකනු ලැබුවේ බතී අතිනි.මෙම කතාව සැමී විසින් අරවින්දගේ ජීවිතකතාව කියවීමකි. සිරිදාසගේ ගෙදරදී අරවින්දගේ පොත්පත් හා සුන්බුන් ඇවිස්සීමෙන් සොයාගත් ඔහුගේ ජීවිතපකතාව ආරම්භ වන්නේ දෙවන පරිච්ඡේදයේ සිටය.

                                           අරවින්ද බතී රැකබලා ගැන්මේ ප්‍රතිඵල ඔහු රෝගී වූ අවසානයේ ලබයි. බතී පිළිබඳව කෙබඳු පුද්ගලයන් කෙබඳු කතා ගෙතුවද අවසානයේ ගුණයහපත්, භාර්යාවක්, දියණියක් මතු කිරීමට හැකියාව ලැබී ඇත. ඒ බැව් සිරිදාසගේ මෙම කියමනෙන් පැහැදිලි වෙයි.

"අරවින්ද හුඟක් දුක් වින්දා.බතීට ආරංචි වෙලා ඇවිත් එයා ඇගේ ගෙදරට එක්ක යනකල් අපි දන්නේ නෑ."

"අප කිසිවකුගෙන් නොලබන සැලකිලි හා සාත්තු එයාට බතීගෙන් ලැබුනා."

                                          ඔහු වෙදැදුරාණන් කෙනෙකු වනු දැකීම පියාගේ සතුට වුවද අරවින්දගේ ඒ පිළිබඳව අප්‍රසාදය ප්‍රකාශ කරන්නේ මේ අයුරිනි.

"ලේ දකින විට මට ඉසේරදේ හැදෙනවා. ගෑනියෙකුගේ සෙලු මළකඳකට අත ගහන්නවත් මම කැමති නෑ"
           
                                       දියණිය අරපිරිමැස්මෙන් දිවි ගෙවීමට පුරුදුව  ඇත.ඇය අදින පළදින ආකාරයෙන් පවා ඒ බව ප්‍රකට  වෙයි.අම්මාත් දුවත් අතර දෙබසින් එය වටහා ගත හැකිය.

"උඔ හැමදාමත් කබල් සාරියක් ඇදගෙන  එන්නේ  මන්ද ?"

"අපේ  ගෙදරට එන කොට කොයි එක ඇන්දත් මොකද?"

                                        වයසින් මුහුකුරා යාමත් සමඟ දියණිය සටකපට කාන්තාවක් බවට පත් වී ඇත.අරවින්ද නිරන්තරයෙන් සිතන්නේ සරෝජනී  ඉතා ලාබාල දැරියක් බවයි.ඇය කෙරෙහි  ඔහු  තුළ   ඇත්තේ කාමය,රාගය පිළිබද චේතනාවක් නොව පිරිසිදු චේතනාවකි.ඔහු සිරිදාස සමග මෙසේ පවසන්නේ එම නිසාවෙනි.

"විවාහ ජීවිතය ගැන සිරිදාස තරම් දුරට සිතන්න සරාට තාම වයසක් නෑ"

                                         නමුත් සිරිදාස ඇය ගැන එතරම් ලාබාල ලෙස නොසිතයි. කාන්තාවන්ට ඒවා විශේෂයෙන් පුරුදු පුහුණු කිරීම අවශ්‍යය නොවන බව ඔහු පවසන මෙම වදනින් පැහැදිලි ය.

"හංසයන්ට පීනන්න උගන්වන්න ඕන නෑ. විවාහ ජීවිතය ගැන හිතන්න ගෑනු ළමයින්ට උගන්වන්න ඕන නෑ."

                                         අරවින්ද විසින් තමාව විවාහ කරගන්නා තෙක් සරෝජිනී බලා හිදියි.නොරිකෝ දෙවොන්දරා සං තමාව විවාහ කරගන්නා තෙක් බලාහිදියි. මාර්ටින් වික්‍රමසිංහයන් "විරාගය" තුළින් අරවින්දව ප්‍රේම ලෝක‍යෙන් එපිටට ගෙනගියේ ය.

Tuesday, December 20, 2016

නවකතා මතකකයන්...සිරියාලතා

සිරියාලතා - ඩබ්.ඒ. සිල්වා



                                           ඩබ්.ඒ.සිල්වා මහතාගේ අපූරු නවකතාවක් ලෙස "සිරියාලතා" පෙන්වාදිය හැකිය. මවගේ වියෝවෙන් පසුව තනිවම සමාජගත වීමට සිදු වූ ඇග්නස් නම දැරිය වටා කතාව ගෙතී ඇත.කෘතියේ නම බවට කතුවරයා යොදා ඇත්තේ මවගේ නම වූ සිරියාලතා යන්නය.ඉංග්‍රිසි මෙන්ම සිංහල නම් වලින්ද මෙහි චරිත හැඩගන්වනු ලැබ ඇත.

                                             ඇග්නස්ට අවුරුදු 10 දී මව අහිමි වෙයි.ඇය අසනීපව සිට මිය යාම නිසා ඇගේ තනි නොතනියට කිසිවෙක් ඇයට නොමැති විය.ඇය මරණ ඇදේදී සිය දියණියගේ අතෙහි යන්ත්‍රයක් බැන්දාය.මෙය භාවිතා කීරීමට ඇයට උපදෙස් ලැබුනෙ හදිසි අවස්ථාවකදී පමණි.එසේ ප්‍රයෝජනයට නොගෙනම කටයුතු කරන්නේ නම් තමන්ට කරන ලොකුම උපකාරය බවත් ඇය කිව්වා ය.ඇගනස් එය ක්‍රියා කරන ආකාරය දැනගන්නටත් පෙරම ඇය මිය ගියා ය.ඇයට මවාගන් හිමි වූයේ මෙම යන්ත්‍රය පමණකි.ගෙවලි කුලී එකතු කරන්නා කොරණිස් නම් විය.ඔහු සිය රාජකාරිය සඳහා පැමිණෙන විට ඇය මිය ගොස් ඇති අයුරු දැක නගරයේ බලවතාවූ ජොරණිස් ප්‍රේරාට මේ බව ප්‍රකාශ කරයි.කොරණිස් එකතු කරන මුදල් ලබාදෙන්නේ ඔහුට ය.අහිංසක ජනයාගෙන් රැස් කරගන්නා මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන චරිතයක් ලෙස කතුවරයා ඔහුව හඳුන්වා ඇත.
 
                                               සොපිහාමි නමි කාන්තාව විසින් ඇග්නස්ව ජොරණිස් ප්‍රේරාට භාරදෙන්නී ය.ඔහුගේ දුව කැරොලිනා නම් වෙයි.ඇය අහංකාරයෙන්  යුක්ත චරිතයක් ලෙස දැක්විය හැකිය.ඔවුන්ගේ සෙවණේ  වැඩෙන ඇය කෙමෙන් කෙමෙන් වැඩි වියට පත් වෙයි.ඇත සැමගේම සිත් වශී කරන සුන්දර තරැණියක් බවට පත් වෙයි.කැරොලින් යනු ජොරණිස්ගේ දියණිය ය.අැය සුන්දර යහපත් ඇවතුම් ඇති තරුණියක ලෙස කතුවරයා දක්වා නොමැත.ඇග්නස් යන නම ඇයට හොඳ වැඩි යයි කියා ගුස්තිනා යනුවෙන් ඇයට නම තබයිි.කැරොලින් විවාහ වීමට සිටින්නේ වික්ටර් ගුණසේකර නම් තරුණයෙකු සමඟ ය.ගුස්තිනාගේ සුන්දරත්වය නිසා වික්ටර්ගේ සිත ඇයට යොමු වූවේය.

                                                ගුස්තිනා ජීවිතය ගෙනයනු ලබන්නේ බොහෝ බාධා අතරමැදය.ඇයගේ රුව සුන්දර වීමත් සමඟ පිරීමින්ගේ නෙත් ඇය දෙසටම ඇදෙන්නට විය.මධුවිතින් මත් වූ ජොරණිස් ගුස්තිනාව කුඩම්මා කර ගැනීමට අවශ්‍යය බවද පවසයි.මෙම වියවුල් පසුබිම් හමුවේ ඇයට තවදුරටත් එහි රැදීමට නොහැකි වූයෙන් ඇය එතනින් පැන යයි.නමුත් කැරොලින්ගේ පෙම්වතා වූ වික්ටර් ඇය පසුපස ලුහුබදියි.ඇයගේ වාසනාව සොයා එන්නේ මෙම අවස්ථාවේදී ය.රික්ෂෝවක පැමිණි රිටිගල නම් තරුණයෙක් ඇයව ගුඩ්වින් නෝනාගේ නේවාසිකාගාරයට යොමු කරයි.ඇය ඔහුව ගුස්තිනාට හඳුන්වා දෙන්නේ මාර්ෂල් නමිනි.මෙහිදී මොවුන් දෙදෙනා තුළ ප්‍රේමයක් මුහුකුරා යනු දැකිය හැකිය.මෙහිදී මාර්ෂල් එංගලන්තයට යන්නේ පැමිණි වහාම ඇයව විවාහ කරගන්නා පොරොන්දුව ඇතුවය.

                                          වික්ටර්ගේ සිත තුළ ගුස්තිනා කෙරෙහි හටගත් ප්‍රේමයේ නිමක් නාමැත.මාර්ෂල් එවූ ලිපි වෙනස් කරවා ගුස්තිනාට ලබාදීම,එතනින් පැනගොස් විජේසූරිය පාදලි තුමාගේ ගෙදර ගිය විට එහිදීද් ගුස්තිනාවම පැතීම යනාදිය පෙන්වාදිය හැකිය.එමෙන්ම වික්ටර් කැරොලින් ලවා පියාට වස දී මරවා ඇයවද හිරේ යවයි.මේ සියල්ල සිදු වූයේ වික්ටර් තුළ ගුස්තිනා කෙරෙහි හටගත් ප්‍රේමය මතය.ඇග්නස්ගේ හිත මාර්ෂල් කෙරෙහි බිදෙව්වද ඇය ඔහුගේ දියුණුවම පතයි.රිටිගල හා පාදලි පවුල ඉතාමත් හිතමිතුරන් ය.ඇය ඔවුන් සමඟ රිටිගලගේ නිවසට යන අතර එහිදී රිටිගල දකියි.මෙම අවස්ථාව ඇයගේ අනාගතය බොහෝ වෙනස් කළේය.මෙහිදී ඇයට ඇයගේ පියාවද හිමි විය.ඔවුනොවුන් ලේ ඥාතීන් බව පසක් වන්නේ මෙහදී ය.මෙතෙක් කල් විවෘත කර නොතිබූ යන්ත්‍රය විවෘත කළ අතර එමගින්ද ඇයගේ අනාගතය පැහැදිලි විය.මෙතෙක් කාත්කවුරුත් නැත්ව අසරණව සිටි ඇයට මහත් ලෝකයක් හිමිවිය.රිටිගල හා ඇයගේ විවාහයද සිදු විය.

                                     මෙහිදී භාෂාව පිළිබඳව විමසීමද වැදගත් ය.අරක්කැමි ජොහානා ගුස්තිනාට කියන මෙම වදන් විමසිය හැකිය.

"මොකද මේ ලෑස්ති වෙලා ඉන්නේ දිවිදෙන එකක රවුමේ යන්නද?"

                                       මෙහිදී එවන් නපුරු නාමයක් භාවිතා කරමින් කැරොලින් හඳුන්වනු ලැබුවේ ඇයගේ නපුරු චරිතය පාඨකයන්ට ඒත්තු ගැන්වීම උදෙසා ය.එමෙන්ම වික්ටර් ඇයට ප්‍රේමය කරන බව වික්ටර්ගේ මෙම සිතුවිල්ලෙන් පෙන්වාදිය හැකි ය.

"අහෝ!මැයගේ මුහුණ සිඹ මෙස අවුල බේරන්නට ඇත්නම් "

                                       විජයසූරිය නෝනා ගුස්තිනාව මාර්ෂල්ගේ මතකයෙන් මුදවන්නට මෙවන් වදන් ප්‍රකාශ කරයි.

"ඔය එක මාර්ෂල් කෙනෙකු නැතිවාට ලෝකයත් තරැණයන්ගෙන් හිස් ද?"

                                       නමුත් ඇයගේ ප්‍රේමය එසේ අමතක කළ හැක්කක් නොවය.එබැවින් ඇය මෙසේ එයට පිළිතුරු දෙයි.

"මාර්ෂල් මහතාට මා ඇති කළ ප්‍රේමය මම්මා ඇත්කළාය කියන පන්බඩ මෙන් වැනෙන සුලු ප්‍රේමයක් නොව ස්ථීර එකක් බව සැලකුව මැනවි.වේයා විසින් ඉදිකළ තුඹස නැවත ඔහුටම බිදගත නොහැකිවා සේ මා ඉදිකළ ප්‍රේමය මට බිදගත නොහැකිව මම දැන් දුක්වෙමි."

                                       "ප්‍රේමවන්තය", "සොඳුර", "අහෝ", "අනේ", "මෑණියනි", වැන් විස්මයාර්ථ අපූර්ව වදන් මෙහි දැකිය හැකිය.කථන භාෂාව පවා ගෞරවාර්ථව යෙදී තිබෙනු දැකිය හැකිය.මෙම යථාර්ථරෑපීව සමාජය නිරූපණය නොවූ බව මෙමගින් දිස්වනු දැකිය හැකිය.
                                   

Monday, December 19, 2016

නවකතා මතකයන්...තෙරීසා

තෙරීසා - ඒ. සයිමන් ද සිල්වා



                                                   ඒ. සයිමන් ද සිල්වා සූරීන්ට දෙවන සිංහල නවකතාව වෙනුවෙන්ද තුති හිමි වෙයි. ඔහු විසින් රචිත "තෙරීසා" දෙවන සිංහල නවකතාව ලෙස හඳුන්වනු ලබයි.ප්‍රථම විවාහයේ බිරිඳ මිය යාම හේතුවෙන් පීරිස් මහතා දෙවන විවාහයක් කරගනු ලබයි.එතරම් වයසකින් යුක්ත නොවන ඇයට තෙරීසාගේ කුඩම්මාගේ කර්තව්‍යය කිරීමට නොහැකි ය. ඇයට අවශ්‍යය වන්නේ අලංකාරව හැඳපැළඳ විනෝද උත්සව, හිතමිතුරු සාද වලට සහභාගි වෙමින් සුවසේ විසීම ය.තෙරීසා මේ පිළිබඳව ඉන්නේ ඉමහත් කළකිරීමෙනි.ඇය ගෙදර සුරතලා වූ බර්ටි නම් බල්ලා සමඟ යෙදෙන මෙම සංවාදයෙන් ඒ පිළිබඳව වටහා ගත හැකි ය.

                                                    "ඉතින් මාගේ සුලුමෑණියෝ උඹෙන් ගුරුකම් ගන්නවා නම් කොපමණ හොඳද, ඇගේ කිසිම ක්‍රියාවෙක අවඬක ගුණයක් ඇතැයි කියන්න නුපුළුවන් වෙයි.මා ඉදිරියෙහි මාගේ මෑණියන් සෙයින්ම ආදර සැලකිල්ලෙන් පැවත මා නැති වූ කල බොරු දොස් නගා මගේ පියාගේ සිත මා කෙරෙහි දූෂ්‍ය කරවන්ට උත්සාහ කරන්නී ය.ඇයගේ ඇවතුම් පැවතුම්  වලට ගැළැපෙන රෝනල්ඩ් නම් තරුණයා ඇයට විවාහ යෙ‍ා්ජනා කරවන්නේ එම නිසා ය.රෝනල්ඩ් නිරන්තරයෙන් තෙරීසාගේ නිවසට එන්නේ තෙරීසා දකින අපේක්ෂාවෙනි.නමුත් ඇය ඔවුන්ගේ එවන් හැසිරීම් රටාවන්ට අකමැති ය.

                                                   "සමහර විට උඹ මේ තරම් ඉක්මනින් සැරසී ඇවිත් තිබෙන්නේ ඈත් යාය යන බලාපොරොත්තුවෙන් වෙන්ට හැකි.එහෙමනම් උඹේ ප්‍රීතිය වැළකුණා ගැන මගේ අවංක කනගාටුව ප්‍රකාශ කරමි."   යනුවෙන් පීරිස් නෝනා රෝනල්ඩ් ට ප්‍රකාශ කරනු ලබයි. තෙරීසාගේ හා මෙම සමාගමේ පවතනා දූරස්ථ භාවය මෙයින්පැහැදිලි .පීරිස්  නෝනා පුරුෂ පාර්ෂවය කෙරෙහි බොහා් ප්‍රියතාවයක් දක්වන්නියකි.ඇය තෙරීසාගේ ස්වාමියා කර දීමට කටයුතු කරන පුරුෂයාටද මේ අයුරින් සල්ලාපයේ යෙදෙන්නේ එබැවිනි.
                         
                                                     "ආ රෝනල්ඩ් උඹ කෙතරම් සිනිඳු වචන පවසන සූර සොරෙක්ද?මම තරුණ ස්ත්‍රියක් නම් උඹේ ප්‍රිය තෙපුල් කෙරෙහි ඇලෙනවා නොවෙම්දැ". පීරිස් නෝනා සමඟ බැලූ විට තෙරීසා බොහෝ තැන්පත් ආගමානුකූලව දිවි ගෙවන පොත් පත් කියවන ඉතාමත් ආදර්ශ සම්පන්න වූ චරිතයකි.පීරිස් නෝනාගෙන් රෝනල්ඩ්ට ලැබෙන්නේ සල්ලාල විනෝදකාමී දිවියකට ඇරයුම් වුවද තෙරීසාගෙන් ඇයට ලැබෙන්නේ ප්‍රයෝජනවත් දිවියකට මඟ පෙන්වීම් ය.ඇය ඹහුට කියා දෙන කවි මතකයේ තබා ගැනීමෙන් පැහැදිලි වන්නේ රෝනල්ඩ් යනු නිවැරදි මාර්ගයේ ගමන් කරවිය හැකි පුද්ගලයෙකු බවය.තෙරීසා කියූ කවි රෝනල්ඩ්ගේ මතකයේ තිබෙනු දකින විට ඇය ඉතාමත් සතුටට පත් වෙයි.

                                                         "රෝනලිඩ් සත්තකින්ම උඹ ඒවා සිතේ දරාගනිතැයි මම විශ්වාස කළේ නැහැ. උඹට ඒවා පාඩම් නම් මම ඉතාම සතුටු වෙමි."

                                                            ඔහුට නිවැරදි මාර්ගය වැසී යාමට හේතුව කුඩම්මා ය.තෙරීසාගේ කවි ඉගැන්වීම් මතක තබාගත් ඔහුට පීරිස් නොනාගෙන් ලැබෙන්නේ මෙවැනි ප්‍රතිචාරයකි.

                                                            "ආ රෝනල්ඩ් රෝනල්ඩ්,උඹ දැන්මම ඇගේ කීකරු වූ ගෝලයෙක් වගේ පෙණේ.ඉතින් තව ඉගෙනගන්ට තිබෙන්නේ නවගුණ වැල ගණන් කිරීම පමණයි.එතකොට උඹ කොපමණ උපාසක බළලෙක් වන්නෙහිදැ".

                                                              ඔහුව තෙරීසා විවාහ වනු කැමති වුවද  ඇගේ සමාගමෙහි ඇලෙමින් ඇය හා යහපත් දිවියක් ගත කරනු දැකීම පීරිස් නෝනාගේ අපේක්ෂාව නොවය.පීරිස් නෝනා තම ස්වාමියාට ඔහුගේ දියණියට ආදර්ශ වූ චරිතයක් වීමට නොහැකි විය.ඇය වෙන පුරෂයන්ගේ සමාගම අපේක්ෂා කළේ ය.ස්වාමියා නොමැති අවස්ථාවල ඔවුන් ගෙදරට කැඳවා ගතතා ය.වෝල්ටර් යනු එවන් පුද්ගලයෙකි.පීරිස් මහතා අසනීප ව සිටීමෙන් පසුව ඇය වෝල්ටර්ගේ සමාගම අපේක්ෂා කරයි.එමෙන්ම ඇය රෝනල්ඩ්ව සිය සමාගමෙන් ප්‍රතික්ෂේප වෙයි.තෙරීසා පවසන මෙම වදනින් එය ප්‍රත්‍යක්ෂ වෙයි.

                                                             "මගේ සුලුමෑණියෝ පෙර මට සිනාසුනාක් මෙන් දැන් උඹටත් සිනාසෙමින් විහිලු කියති.ඈ වැනි සැහැල්ලු සිත් ඇති අය කියන දේ ගැන අප විසින් යටිසිතින් සිනාසිය යුතුය."

                                                             තෙරීසා බුද්ධිමත් තරුණියකි.ඇය ජීවත් වන්නේ වර්තමානයට ,අනාගතයට ගැලපෙන අයුරිනි.අවසානයේ වෝල්ටර්ගේ පෙර විවාහක භාර්යාව හමුවීමෙන් පසුව පීරිස් නෝනා තනි වෙයි.ඔහු එවූ ලියුම කියවීමෙන් ඇගේ ජීවිතයම මලානිකව යයි.නමුදු තෙරීසා හා රෝනල්ඩ්  ඇයව හොදින් රැක බලා ගන්නේ අවසානයේ හෝ නිවැරදි මාර්ගයට ප්‍රවේශ වූ ඇයව කෘතිය අවසානයෙ සුදු චරිතයක් බවට පත් කරමිනි.
                                                             

නවකතා මතකයන්...මීනා

මීනා - ඒ සයිමන් ද සිල්වා


     
                                 ප්‍රථම සිංහල නවකතාව ලෙස අපි හඳුන්වනු ලබන්නේ ඒ. සයිමන්ද සිල්වාගේ "මීනා" නවකතාව ය.16 වන සියවස මුලදී ශ්‍රි ලංකාව යුරෝපීය බලපෑම් වලට පාත්‍ර විය. මෙරට ඉංග්‍රීසීන්ට යටත් වූ තැන් සිට සිංහල සමාජයේත් භාෂා සාහිත්‍යයන්ගේත්  විවිධ  විපර්යාස සිදු විය. සිංහල මුද්‍රණ ශිල්පය ආරම්භවීම,පුවත්පත් සඟරා ප්‍රචලිත වීම ,වාද විවාද පැවැත්වීම,නව සාහිත්‍යයාංග හඳුන්වා දෙනු ලැබීම යන මේවා එකිනෙකට සම්බන්ධ ව්‍යාපාර විය.
                             
                                 පරිච්ඡේද 13ක් වන ලෙස පිටු 114කින් යුක්ත වන "මීනා" 1905 දී පළමුවරට කොළඹ ශ්‍රී ලංකෝදය යන්ත්‍රාලයේ මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන  ලදී.නවකතාව යන සිංහල වචනය පවා එකල භාවිතා වූ බවක් නොපෙනෙනි. සයිමන්ද සිල්වා විසින් මීනා හඳුන්වනු ලැබුවේ රසවත් කථාන්දරය යනුවෙනි. ඊට පෙර ඇල්බට්ද සිල්වා තම ප්‍රබන්ධකථා හැඳින්වූයේ "අමුතු කථා" යන සිංහල නමිනි.පියදාස සිරිසේන විසින් තම මුල් කෘතිය වූ "ජයතිස්ස සහ රොසලින් " හඳුන්වනු ලැබුවේ "ප්‍රබන්ධ කථා" නමිනි. "මීනා" පළමුවන මුද්‍රණයෙහි පිටකවරයෙහි Meena-A Novel by A.Simon  De Silva යන ඉංග්‍රිසි පාඨයක් වෙයි. 1905 ජූලි 17 දින The Times of Ceylon පුවත්පතෙහි පළවූ විවේචනයක Mr, A. Simon De Silva of the P.W.D. favours  us with a copy of a work of fiction in singhalese the first of its kind attempted in the vernacular ලෙස සඳහන් කෙරේ. මේ අනුව "රසවත් කථාන්දරය" නමින් එහි කතුවරයා විසින් හඳුන්වනු ලැබූ "මීනා" කෘතිය Novel ,Fiction යන වර්ගයට අයත්කොට සිංහලයෙන් ලියැවුණු පළමුවන කෘතිය සේ එකල බොහෝ උගතුන් විසින් සලකනු ලැබූ බව සිතිය හැකිය.
                                   
                                       මෙම නවකතාවේ විශේෂත්වය නම් අතරින් පතර ගළපා ඇති අද්භූත සිද්ධි හා අවස්ථා ආශ්‍රයෙන් කථාව ගොඩනැගී තිබියදීත් සැබෑ ජීවිතාය් හමුවන ගැහැණුන් හා පිරිමින් වශයෙන් යම් ප්‍රමාණයකින් සැලකිය හැකි චරිත කිහිපයක් පාඨකයා වෙත ගෙනඑනු ලැබීම ය.ජා හමුදාවේ සේවය කළ අබ්දුල්,ඔහු හා විවාහ ජීවිතය ගත කරන ලෙන්චිහාමි, ඔවුන්ගේ දූ මීනා ,නගරයේ ඉපිද සෙල්ලක්කාර ජීවිතයයට ඇබ්බැහි වී පසුව මීනාගේ ඇසුරෙන් යහපත් බවට පත්ව අනතුරුව පරණ මිතුරෙකු නිසා යළි දූෂිත වන ඩැනී,ඔහුගේ මිතුරා වන දොස්තර, කැලෑ  ජීවිතය ප්‍රිය කරන මහල්ලා හා ඔහුගේ  සමාගම්කාර  පවුලිස් යන අයගේ චරිත මෙයින් දැකිය හැකිය.
                                     
                                      සුරා සූදුව අතහැර මීනා හා විවාහ වීමට පොරොන්දුව සිටින ඩැනී නගරයේ විසූ අතීත මිත්‍රයෙකු වූ දොස්තරගේ ඇසුර නිසා යළි නරක ජීවිතයට යොමු වෙයි.නගරාශ්‍රයෙන් බැහැරව  වෙසෙන පවුලිස් ඊට වඩා හොඳගති පැවතුම් ඇති තරුණයෙකි. පවුලිස් මීනා කෙරෙහි එතෙක් සඟවාගෙන තිබූ ආදරය මතුවීමට ඉඩදෙනුයේ ඇගේ සිත ඩැනීගෙන්  බිඳුණු පසුය. මේ චරිතයනගේ සිතුම් පැතුම්,ක්‍රියාකාරීත්වය හැසිරීම සහ පුද්ගල සම්බන්ධතා සැබෑ ජීවිතයට සම්බන්ධ වන සේ  ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇත. මෙම කථාව ගොඩනැගී ඇත්තේ ප්‍රධාන වශයෙන් වෙස්වළා ගැනීම්, වනගත වීම් සහ කැළෑ පොදස්හි ජීවත්වීම් සම්බන්ධ චරිත මතය. මෙය කථාවින්‍යාසය දුර්වල වීමට හේතු ය.

                                       තරුණයන් දෙදෙනෙකු හා තරුණියක අතර සම්බන්ධය පසුබිම් කරගෙන ගෙතුණු කතාපුවතකි. ග්‍රන්ථ නාමය අනුවම මෙම කථාව මීනා නම් තරුණියගේ කථාවයි. සෙසු චරිත ඇයගේ චරිත හා අඩුවැඩි වෙමින් සම්බන්ධ වෙති. මීනා මෙහි නිරූපණය කර ඇත්තේ ගතානුගතික  චරිත ලක්ෂණයන්ගෙන්  යුක්ත තරුණියක ලෙස නොවය. වැඩි ඉගෙනීමක් නැතද බුද්ධිමත් ආත්ම ශක්තියෙන් අනූන තරුණියක සේ නිරූපණය කර ඇත.ස්ත්‍රි චරිතය පිළිබඳව මෙන්ම සමාජය පිළිබඳව ද නව දෘෂ්ටියක් හෙළන බව කිව හැකිය. එක් අතකින් තමන් විවාහ ගිවිසගත් තරුණයාත් අනෙක් අතින මනා ගතිපැවතුම් වලින් හා කඩවසම් පෙනුමෙන් හා නිර්භීතකමින් යුක්ත වෙනත් තරුණයෙකුත් අතර මැදිවූ තරුණියකගේ සිතිවිලි ගෙනහැර පෑමට මෙයින් උත්සාහ ගෙන ඇත.

                                       කථාව අවසන් වනුයේ නාගරික ජීවිතය නියෝජනය කරන දොස්තරගේ බලපෑමට අසුවූ ඩැනී ආත්ම ශක්තියක් නැති,පොරොන්දු කඩකරන ,හොඳ නරක නොසලකන වංක තරුණයෙකු බව මීනා විසින් තේරුම් ගනු ලැබීමෙනි.එමෙන්ම සමාජයේ ස්ත්‍රීන්ටත් පුරුෂයන්ටත් මෙන්ම උසස් තැනක් හිමි විය යුතු බව පිළිගන්නා පවුලිස් නැමැත්තාගේ උත්තම ගතිගුණ තේරුම් ගන්නා මීනා ඔහු හා සරණ යාමට එකඟ වීමෙනි.

                                       මෙහිදී කතාවහර විමසීමේදී මීනා උසස් කතාවහරකින සරසා ඇත."ගෑනිට කියා වේසකම් කර රැකෙනවා" යැයි මීනාට නවාතැන් දුන් නූගත් කාන්තාවගේ මුවට නංවා ඇති අතර "මම ඔවුන්ගේ අනියම් භාර්යාව වී මුදල් ලබා ගන්නම් " යනුවෙන් දක්වා ඇත.සූදු ක්‍රීඩාවට පැමිණි තරැණයාට තම මහලු වෙස ඉවත්කර සැබෑ ස්වරෑපය පෙන්වීමට ගත් කාලය දැක්වූ‍යේ මෙසේ ය."බෙරු ‍කොණ්ඩය ඉවතලෑම,මුහුණ සෝදා ගැනීම, ඇඳුම් ඉවත් කිරීම විනාඩියක් ඇතුළත කරන ලදී."ඇගේ කාර්යශීලීත්වය මෙයින් මතුකර ඇත.

                                     අවසානය වන විට ඇයගේ සිතෙහි පවුලිස් කෙරෙහි ආදරයක් උපදී.නමුත් ඇය පවුලිස්ගේ සිත වමසන්නේ මේ ආකාරයෙනි.
                   
      "ඇයි මේ තනි වූ ස්ථානයෙහි කතාකරනට ලෙඩට දුකට සලකන්ට කෑම බීම හරිගස්සවා දෙන්ට මතු දරු සුරතල් දැකගන්නට සමාගම් කාරයෙක් ලබා ගන්නවා නම් යහපත් නොවේද?"

                              යනුවෙන් ඇය උත්සාහ දරනුයේ ඔහු සිත අදහස් දැන ගැනීමය. ඇයට ඩැනීගේ මිතුරෙකු වන දොස්තරගේ නෙතට හසු වීමටද සිදුවිය.එම අවස්ථාවේ දොස්තර පවසන්නේ මෙසේ ය.

                                "හා හා !දැන් මගේ වාරයත් පැමිණිච්චි, උඹේ ආඩම්බරත් දැන් ඉතින් ඉවරයි.හෙට උදයේ වෙන ගැහැණුන් මෙන්ම උඹත් මගේ කීකරු වැඩකාරියකි."

                                  නමුදු  ඔහු තරමටම ඈද බුද්ධිමත්ව කටයුතු කරන ස්ත්‍රියක් බව මෙම කියමනෙන් පෙන්වයි.

                                   "හා හා මගේ වාරය දැන් පැමිණිච්චි.මමත් වෙන අය මෙන් ගොනෙක් වුණානම් සත්තකින්ම උඹේ කීකරු වැඩකාරියක් වෙන්ට වුණා. නමුත් උඹ කපාපු වළේ උඔම"

                                    ප්‍රථම සිංහල නවකතාව ලෙස පිළිගත් මෙය අතීතයට,වර්තමානයට,අනාගතයට යන ත්‍රිත්වයටම කාලෝචිත අයුරින් නිම වූවක්  ලෙස පෙන්වාදිය හැකිය.
                                     
                                     

Tuesday, December 6, 2016

මගේ ඇසින්...සුන්දරයි ගම

සුන්දරයි ගම


සියොතුන්ගෙ කිචිබිචිය තවම නැහැනොවැ ඇසුණෙ
පිපි කුසුම් සුගන්ධය මදනල මන්ද රැගෙන නාවෙ
තුරු ගොමුවෙ සිසිලස ආයෙ කවදා විදින්නෙ
සැනසුම සොයා ගම පියඹන්න සති අන්තය කවදාද එන්නෙ.....