Showing posts with label නවකතා විචාර. Show all posts
Showing posts with label නවකතා විචාර. Show all posts

Wednesday, January 11, 2017

නවකතා මතකයන්...වැල් පාලම

වැල් පාලම- කැත්ලින් ජයවර්ධන




            පුවත්පත් කලාවේදීන්ගේ ලෝකයක් විදහාපාන නවකතාවක් ලෙස මෙය පෙන්වාදිය හැකි ය. සෝමවීර, නාලිකා, වජිරපානි, මාතුපාල, නිරෝධා ධර්මසිරි, නිර්මාණි යන චරිත කතුවරයා මෙමඟින් හඳුන්වා දෙනු ලබයි.  සෝසමවීර බිරිඳක, දියණියක හිමි ස්වාමියෙකු වුවද ඔහු අන් ස්ත්‍රීන් ප්‍රාර්ථනා කරයි. පුවත්පත් ලෝකයට මැදි වූ සෝමපාල තම වෘත්තිය ගැන උනන්දු වන්නා සේම එහි සේවය කරනා ස්ත්‍රීන් ගැනද බෙහෙවින් උනන්දු වන පුරුෂයෙකු ලෙස කතුවරයා ඔහුව හඳුන්වා ඇත.
            බිරිඳ ආශා කරන්නේ තමන්ටම කියා නිවහනක් ඉදිකොටගෙන ස්වාමියාත් දරුවාත් සමඟ සුවසේ වාසය කිරීම ය. ඇය සිය සැමියා සමඟ නිතරම පැවසුවේද එයයි.
‘‘ කොහෙද? රුපියල් පනස්දහසක් තිබුණ උනත් මේ කිට්ටුව පාතකිං නං ඒ මුදලට එක පර්චස් එකකට වැඩිය ගන්න බෑ. ඒක ඉතිං ඇතිවෙයි ඔයාටයි මටයි හිටගෙන ඉන්න විතරක් නං
            ‘‘ මොනවා උණත් දැං අපට ගෑනු දරුවෙක් ඉන්න විත්තිය මතක තියාගෙන තමයි අපට මීට පස්සේ කොයිදේ කරන්නත් සිද්ධ වෙන්නෙ.”
            මොවුන් දෙදෙනා අතර අඹුසැමි පොදු කතාබහ වුවද සෝමවීරගේ සිත රජයන්නේ නාලිකා පමණක් නොවය. ඔහු වෙනත් කාන්තා පාර්ෂවයන්ගේ සංගමය පතන්නේ නාලිකාගේ රූපශ්‍රිය පෙරමෙන් ඔහු සතුටු කිරීමට අසමත් හෙයිනි. දියණියගේ උපතත් සමඟ ඇය පෙර මෙන් තමන්ගේ රූපය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වයි. මෙම හේතු කාරණා ඔහු තුළ නාලිකා කෙරෙහි උපන් ප්‍රේමය, රාගය කෙමෙන් මියැදී යාමට හේතු විය. ඔහු නිරෝධාගේ සංගමය සොයන්නේ මෙම හේතු මුල්කොට ගනිමිනි.
            ‘‘ ඇයි ඔච්චර තද පාටවල් අඳින්නේ? ”
            ‘‘ ඊටත් රතු පාට ?”
 සෝමවීර නිරෝධාව තම කතාවට නතු කරගන්නේ එලෙස ය. ඇයගේ සරාගී පෙනුමට ඔහු යටිසිතින් රුචි කරයි. කාන්තාවන් සතු පොදු අහංකාරත්වය නිරෝධා මුදා හරින්නේ සෝමවීර තමන් ගැන උනන්දු වන බව හැඟුණු හෙයිනි.
‘‘ රතු පාටක්නේ ?”
‘‘ මොකක්හරි පාටක් එපැයි අඳින්න ? ඉතින් සුදුපාට ඇන්දනං ඕගොල්ලො අහවි මොකද සුදු අඳින්නේ කියල. ඕවට ඉතින් කා ගාවද උත්තර තියෙන්නේ ? ”
සෝමවීර නිරෝධාගේ සාත දිනා ගැනීමට සමත් විය. සෝමවීර සහ නිරෝධා නාලිකාට හොරෙන් අනුරාධපුරයට යන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. පිරිමින් බොහෝ සෙයින්ම අවස්ථාවාදියෝ ය. නිරෝධා ඔහුගේ යටි සිත විමසන්නේ එය දැනගැනීම පිණිස ය.
‘‘ ඔයා මෙහේ ජෝගි නටන කොට කවුද දන්නෙ එයත් එහේ වෙන කවුරුවත් එක්කලා......”
‘‘ අනේ නෑ නිරෝ නාලිකා එහෙම ගෑණියෙක් නෙවෙයි. ඒක මට හොඳටම විශ්වාසයි.”
            අන් කාන්තාවන් තමන්ගේ වසඟයට පැමිණියද තමන්ගේ භාර්යාව අන් පුරුෂයෙකු සතුවනු දකින්නට පිරිමින් අකමැති ය. නමුදු ඔහුගේ මෙම වදන් වලින් නිරෝධා ඔහුගේ සිතුම් පැතුම් වහා වටහා ගත්තේ ය.
‘‘ එහෙම ගෑණියෙක්? කොහොම ගෑණියෙක් ද? ”
‘‘ ඒක එහෙමනම් මම එතකොට එහෙම ගෑණියෙක් ? එහෙම නේ ? ”
‘‘ ඕකනෙ කියන්නෙ. ගැහැණිය ගැන මොන තරම් ප්‍රගතිශීලී අදහස් කටින් , වචනෙන්, පෑනෙන්, එලියට දැම්මත් ප්‍රායෝගික ජීවිතයේ දී ඕගොල්ලො කවුරුත් මහ ඉහලින් බලාපොරොත්තු වෙන්නෙ මේ ගැහැණියගේ පාරිශුද්ධත්වය තමයි.”
නමුදු පතිභක්තිය රකින කාන්තාවකට සැමියාගේ වෙනස් වීම වටහා ගත හැකි ය. ඇය හා සෝමවීර අතර ආරවුල් හටගන්නේ එබැවිනි.
‘‘ රස්සාවට නොගිහිං මට ගේ මුල්ලට වෙලා ඉන්නද ගෑනියේ කියන්නෙ?”
‘‘ උදේට ඇඳ පැළඳගෙන යන්නෙ නම් රස්සාවට තමයි. ඒ උණාට රෑ මද්දහන වෙනකම් කොයිදිබ්බාගෙක යනවද  කව්ද දන්නෙ?”
 කතුවරයා මෙහි දී ‘‘ බැහැගෙන යන ජලයෙන් අපටත් දෝතක් ලෙස දක්වා ඇත.” තේරුමක් නොමැතිව ගලාගෙන යන ගැහැණු ජීවිත වලින් ටිකක් හෝ පිරිමින් ප්‍රයෝජනයට ගන්න උත්සාහ දරන බව මෙයින් වටහා ගත හැකි ය.
වාහන අනතුරින් පසුව නිරෝධාගේ සුරූපී මුහුණ විකෘති වන අතර ඔහු අවසානයේ රැකගත් පතිවෘතාවත් ගැහැණියක වූ නාලිකාද අහිමි වෙයි.
‘‘ එන දවසක නේය? වැදල පුදල දුමු අල්ලල ගෙන්න ගන්න මටත් උවමනාවක් නෑ දැං, ඒ කාලෙ පහුගියා ”
නාලිකා වජිරමානට කියන මෙම කියමනෙන් සියල්ල පෙරට වඩා වෙනස් වී ඇති බව පසක් වෙයි. කාමුකත්වය හමුවේ හඹා යන ලෝකය තුළ අවසානයේ වේදනාව පමණක්ම උරුම වන බව මෙයින් පසක් කිරීමට කතුවරයා සමත් ය.

                        

නවකතා මතකයන්...පශ්චිම ප්‍රණාමය

පශ්චිම ප්‍රණාමය - එස්.ආර්. සිරි සේනානායක


මෙම නවකතාව තුළින් ගම සුදු ජාතිකයින්ගේ ක්‍රියාකාරකම් නිසා කාර්මීකරණයට ලක්වූ බව නිරූපණය කරයි. සුදු ජාතිකයන් සමග ඇයි හොඳැයිය නිසා බණ්ඩාර අප්පෝද අහිමිය. පවුලේ එකිනෙකාගේ විනාශය ක්‍රමයෙන් ලංවනු දැකිය හැකිය. වතුකරයේ මිනිසුන් නිසා පවුලේ අයත් අඩ දබර ඇති වේ. මද්දු පෝල් සමග දීග යාමද සිදුවේ. ලොකු අප්පොට බිරිඳ, නැගණිය සහ දරුවන් ගම නාගරීකරණය වීම කොළඹ දියුණුවීම යන හේතු නිසා අහිමි විය.
පෝල්ගේ හොර වැඩ නිසා ඔහුව පොලීසියට ගෙන යයි. පෝල්ව පහරදීම් නිසා මියගිය අතර, මිනිය භාරගන්නේ දැයි මද්දුගෙන් විමසන ලදුව ඇගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ
“මරාගත්තා නම් දැන් ඉතින් කන එකයි ඇත්තෙ. යනුවෙනි.
ඉතාමත් භක්තිවන්තව වාසය කළ පවුලක් අවසානයේ විනාශයට පත්වේ. හේන්, කුඹුරු විනාශ වි යයි. ලොකු අප්පෝ, සුදු අප්පෝ, පුංචි අප්පෝ, පොඩිගම මුත්තා, බණ්ඩාර අප්පෝ, ලොකු අප්පෝ, පුංචි මැණිකා මෙහි පණපොවන සෙසු චරිත ලෙස පෙන්වා දිය හැකිය. බැත යාල්ලීමේදී ලාබයි කියා පටන්ගෙන නවයයි වෙනුවට අට හොඳයි කීය. දහනව වැන්න වෙනුවට දහඅට හොඳයි කීය. භාෂාව අතින් බැලූ කළ ගැමි සංස්කෘතියකට උරුමකම් කියූ භාෂාවක් දැකිය හැකිය. ලොකු අප්පෝ සහ මැණිකා අතර ඇතිවන මෙම කතාබහෙන්ද එය වටහාගත හැකිය.
“මං පිටත්වුනේ පුහු ඇහැලට කලින් මගෙ හිතේ.
“ඒකට මොකද? හාමුදුරු කරුණාවයි. සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව වැඩි වැඩියෙන් ලැබෙන්නේ කිරි කෝඩුලා නඩේට එක්වන තරමටයි. ලොකු අප්පෝ බණ්ඩියාටද සිරිපා කරුණාව පිණිස ආරාධනා කරන්නේ,
“මං කියනවට උඹත් වරෙන්කො එක ගමනක්වත් පාද පත්ම වඳින්න.
බණ්ඩියා එයට පිළිතුරු දෙන්නේ.
“අනේ අප්පෝ...ඒක හරියැ...මං වැද්දෙක් වගේ සතා සීපාව මරාගෙන කාලා අණක් ගුණක් නැතිව ජීවත් වෙන එකා..සමන් දෙවියෝ කෝප වෙයි. ඒක නඩේටම නපුරක්.
“උඹ ඔය කරුම ජීවිතේ අත්ඇරල ගොවිතැන් බතක් කරගෙන ජීවත් වුණොත් දෙවියෝ උඹට අච්චු කරන එකක් නෑ.
අතීත ගැමියන් සිරිපා කරුණාව පිළබඳ කතා කරන්නේද සිරිපා කරුණා කරන්නේ ද, ඉමහත් ශ්‍රද්ධාවෙනි. මෙම යුගය සිරිපා කරුණා යුගය පමණක්ම නොව විදේශීය වෙළඳුන් වෙළඳාම පිණිස ගමටද එන යුගයකි.
“රෙදියි යෝප්...රෙදි ඊ...යෝප්”
ඒ අවුරුදු කාලයට රෙදි විකිණීමට ගමට එන චීනාගේ භාෂාව.
“අප්පු ආමිලගේ කරුංක තමා පෝම ඔඳ...යේක පොඩි සවුත්තුව තමා කරුංක ගාන ඔඳටෝම බෑල...යේ උනාට  අපිලට අප්පු ආමිලට යේව කියන්න බෑනෙ...”
“ඔඳම රෙදි තමා ආමිනේට කෙනාවා...පෝම ලස්සන ඒව...යේක පලන්ඩ...ලාබ තමා...”
විදේශිකයන් වෙළඳාම තුළින් පවා ගම ආක්‍රමණය කළ අයුරු මෙයින් වටහාගත හැකිය. සුද්දන් ඉඩ කඩන් නතුකර ගැනීමටත්, ගම්මුන් එයට සහාය වූ බවත් ලොකු අප්පෝ තුළ ජනිත කේන්තියෙන් වටහාගත හැකිය. සුද්දන් ගම ඇවිත් වනාන්තර හෙළිපෙහෙලි කළා පමණක් නොව ඔවුන්ගේ ආහාරපාන පවා ගැමියන් තුළ ප්‍රචලිත කරවීය.
“ඕව තමා පාන්...මුලින්ම දැක්ක සිංහල මිනිහ කීව කියන්නේ කුඩු ගල්...”
පෝල් සෝපාහාසව බණ්ඩාර අප්පෝ දෙස බලමින් පාන් පිළිබඳ දැනුවත්කම දිගහරී.
“කොළඹ රටේ පාන් ජාති ගොඩක් තියෙනව...පරලු පාන්, හකුරු දාපු හකුරු පාන්, මුද්දරප්පලම්, කහමද, සීනි, දුන්තෙල් දාපු බෘදර් පාන්..සීනි වැඩිය දාපු ස්වීට් පාන්...ඉඟුරු ඉස්ම දාල හදපු දුඹුරු පාන්...ඔන්න ඔය වගේ මහා ජාති ගොඩක් කාල බලමු..”

            අතීත සමාජයේ පැවති ග්‍රාමීයත්වය නාගරීකරණය විමට පොදු හේතුව බවට පත්වී ඇත්තේ පිටස්තර පුද්ගලයන්ගේ පැමිණීම් ඔවුන් පුරුදු පුහුණු කළ ආහාර, රැකියා සහ නොයෙක් ජීවන තත්ත්වයන් වැළඳ ගැනීමය. පශ්චිම ප්‍රණාමයේ ද සිදුවූයේ එයයි.

නවකතා මතකයන්...කරුමක්කාරයෝ

කරුමක්කාරයෝ - ගුණදාස අමරසේකර

            

              මව නොමැති පවුලේ අයියාද, අක්කාද, මල්ලීද, තාත්තාද ජීවිතය ගෙන යන්නේ සියලු අග හිඟකම් හමුවේ වේ. අයියා සෝමා නම් කාන්තාවක් විවාහකොට ගනු ලබයි. ඔහු සෝමාව විවාහ කරගැනීමෙන් පසු ඔවුන්ගේ රැකියා මාර්ගය වන කඩය ද, දියුණුවට පත්වෙයි. සොහොයුරිය නිවසින් පිටවී දෙණිය මහත්මයාගේ ගෙදර යන අතර, ඔහුගෙන් දරුවකු ලැබී රත්නපුර ගොස් ලැබුණු දරුවා අරන් හදා ගැනීමට දී කොළඹ යයි. සෝමා ප්‍රේමය කරන්නේ මල්ලීට ය. මල්ලීව සෝමා බලෙන් වරදට පොළඹවා ගැනීමට උත්සාහ කරයි. මෙබැවින් ඔහුත් ඇයට ප්‍රිය කරයි. මෙහි සිදුවන රසවත්ම සිදුවීම නම් ප්‍රේක්ෂකයා අවසානයේදී පියාද ඇයට ප්‍රේමකොට ඇති බව දැනගැනීමයි. ඇයට අවසානයේ බඩට එන දරුවා තාත්තාගේද, පුතාගේද යන්න ගැටළුවක් බවට පත්කරමින් ප්‍රේක්ෂකයා තුළ කුතුහලයක් ජනිත කිරීමට මෙම නවකතාව තුළින් කතුවරයා සමත්වී ඇත.
            අක්කා ගෙදරින් පිටත්වීමට හේතුව අම්මාගේ මාලය සෝමාට කතරගම බැඳගෙන යාමට ඉඩදීමය. අක්කා ගෙදරින් පිටවන්නේ පවුලේ ඇත්තන් තුල වෛරය සිත තුල තබාගනිමිනි. සෝමාගේ පැමිණීමත් සමග මෙම පවුලේ වෙනස්වන සිදුවීම් පුදුමාකාරය.
“අපේ කඩේ දියුණුවත්ම තාත්තාද පෙනීමෙන් දියුණු වූයේ කෙසේදැයි මම නොදනිමි. ඔහුගේ මුහුණ දැන් පෙරටද වඩා තරුණ භාවයක් උසුලයි. ඔහු රැවුල කැපුවේ උඩු රැවුල මදක් තබමිනි. එහෙත් දැන් ඔහු එයද කපා ඇත. එබැවින් ඔහුගේ මුහුණ දැන් පෙරටද වඩා තරුණ භාවයක් උසුලන්නේ. තාත්තාගේ මුහුණෙහි මෙන්ම හිතෙහිද තරුණ භාවයට පැමිණියේ අපේ කඩේ වහ වහා දියුණු වූ නිසා යැයි මම සිතමි.
            තාත්තාගේ මෙම වෙනස්වීමත් සමග ඔහු තුල මතුවන ජවසම්පන්නතාවත් සමග වැඩිමහල් සොහොයුරාගේ බෙලහීනතාවද ප්‍රකට කිරීමට කතුවරයා සමත්ය.
“අයියා දැන් පෙරටද වඩා හකුලාගත් ඇඟපතින් යුතුව ජීවත් වෙයි. ඔහුගේ ඇඟපත මෙන්ම සිතද අඳුරු ලෙනකට වැදුණු එකෙකුගේ මෙනැයි මට සිතේ. ඔහු දැන් කතා කරන්නේ පවා මද වශයෙනි. ඔහු කෙතරම් හැකිලී ඈත්වී ඇත්ද කිවහොත් ‘අයියා’ යන සංඥාව මිස ඔහුගේ රූපය හෝ සලකුණ මගේ සිතෙහි ඇඳී ඇත්තේ යන්තමිනි.
පියාගේත් වැඩිමල් සොයුරාගේත් ජීවිතය මෙසේ ගලා යද්දී තමන් දකින අත්දැකීම් කථකයා ඉදිරිපත් කරන්නේ පාඨකයා තුළ කතාවේ ඉදිරිය දැනගනු පිණිස කුතුහලය ජනිත කරවමිනි.
“මම ඈ සෙමෙන් මගේ ඇඟට හේත්තුකොට ඇගේ මුහුණත්, පියවුරුත්, ඇගේ බඩත් මහත් ආදරයෙන් සිම්ඹෙමි. සියල්ල නිවී සැඟවී ජීවිතය තෘප්තිමත් යයිද මට ඒ වෙලේහි සිතිණි.
            එකම පවුලේ පිරිමින් තිදෙනෙකුගේ නේත්‍රාකර්ෂණය ලබාගනිමින් නිවසේ ඉන්නා සෝමා කතාවෙහි අපූරු චරිතයක් බවට පත්වෙයි. ඇය නිතරම මල්ලීට කියන්නේ තාත්තා ගැන නොබලා බදු හේනක් අරගෙන යමු කියායි. එමෙන්ම ඇය කවදාවත් තාත්තාට තාත්තා යනුවෙන් ආමන්ත්‍රණය කොට නැත. ඇය තාත්තාටද සම වයසේ පුද්ගලයකුට මෙන් කතා කරයි. තාත්තාද කවදාවත් ලේලි, දුව යනුවෙන් අමතා නැත. ඔහු ඇයට පවසන්නේ කෙල්ල යනුවෙනි.
            අයියා සෝමාව රැගෙන යන්න පැමිණි විට පියා පවසන්නේ ඇය උඹේ ගෑනි නොව මගේ ගෑනි බවයි. පියා බාල පුතණුවන්ට ද වෙන කසාදයක් කර දෙන්නේ සෝමාගේ ග්‍රහණයෙන් මුදවාගනු පිණිස බව පියාගේ චරිතය නිරූපණය කිරීමේදී මනාලෙස පැහැදිලි වේ.
            අවසානයේදී සෝමාද ඇගේ දරුවාද මිය යන අතර, තාත්තා නිවසින් පිටවී යයි. අක්කාද, අයියාද නැවත නිවසට පැමිණේ.
            අතීත සමාජයේ බහු විවාහ ක්‍රම දැක ඇත්තද, පිය පුතු විවාහය සඳහා එක් භාර්යාවක් තබා ගැනීම දැක නැත්තෙමු. ඔවුන් ලැබූ දියුණුවද, ඉතාමත් තාවකාලික වූවක් විය. මධුවිත ද, ස්ත්‍රිය ද, තාවකාලික සංතුෂ්ඨිය සඳහා බිහිවූවක්ම බව මෙයින් ගම්‍ය කළ හැක.

            මෙය චිත්‍රකතා පොතක් මෙන් විචිත්‍රවත්ව සකසා ඇත. සෑම කොටසකම පටන් ගන්නා ආරම්භ කොටසට අයත් ප්‍රධාන සිදුවීම චිත්‍රයක් මගින් නිරූපිත වීම සුවිශේෂ ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය. කාන්තා මායමට හසු වී මෙම පුරුෂයන් තිදෙනා ජීවිතය අඳුරුකර ගැනීම අනාගතය දියුණුව අහුරා ගැනීමම කරුමක්කාරකමක් ලෙස පාඨක ඇසින් පෙන්වා දිය හැකිය.

නවකතා මතකයන්...සෙංකොට්ටං

සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

පෙත්තරේ ළඟ පැන්තොටේ ගම්මානයේ කුණු සෝදපු මිනිසුන්ට ඒ පිරිසිදු රෙදි ඇඳගත් මිනිසුන් විසින් දුන් තුටු පඬුර ඒ මිනිසුන්ගේ සංතානය කිලුටු කරපු එකයි. ඒ හිත කිලුටු කරපු කතාවේ සංවේදී සලකුණ සෙංකොට්ටං ය. 2012 වසරේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත සෙංකොට්ටං නවකතාව සම්මානනීය කෘතියක් බවට පත්විය.
මේ විසිවන සියවසේ ලංකාවේ සබරගමු පළාතේ පල්ලේබැද්ද, ගොඩකවෙල ප්‍රදේශය ආශ්‍රිත වූ නොදියුණු ගමක රදක කුලයේ ඈයන්ගේ ජීවන පුවතින් සැකසූවකි. කුලවාදයට තෝතැන්නක් වූ රත්නපුරය දිස්ත්‍රික්කයේ රෙදි සෝදන්නන් විසින් අත්දුටු කුලීනයන්ගේ ක්‍රියාකලාපය සැලකිලි හා පිලිකෙව් කිරීම් හිංසා පීඩාවන් පදනම්කරගත් අතිශය සංවේදී කතා පෙළගැස්මකි. කුලවාදය ඉතා හොඳින් පැලපදියම් වූ ප්‍රදේශයක සිටම කුලවාදයට එල්ල කළ දැවැන්ත පහරක් ලෙස මේ කෘතිය හඳුන්වාදිය හැකිය.
වීරප්පුලි හේන්යා ඇතුලු සියලුදෙනාගේම වෘත්තිය වන්නේ රෙදි ඇපිල්ලීම හා කොටහළු චාරිත්‍රයන් ඉටු කිරීමයි. මෙම වෘත්තිය හේතුකොට ගෙන ඔවුහු සමාජයේ පහත් කුල හීන පිරිසක් ලෙස අඩු සැලකිලි ලබයි. ඔහුගේ වැඩිමහළු දියණිය වන පොඩිනා සාහසිකයෙකුගේ ගොදුරක් බවට පත්ව මිය යයි. කුඩා දියණිය වන හීන් රිදී බබානිස් නමැති තරුණයෙකු සමග පැන යයි. ඔහුගේ පුතුද ගම හැර ගොසිනි. මේ සියල්ලෙන්ම කම්පිතවන වීරප්පුලි හේනයාගේ එකම සැනසුම වන්නේ තම මුණුපුරා වන බබා හේන්යා පිළිබඳවය. බබා හේන්යා රත්නපුරයට ගොස් ලද අධ්‍යාපනයත් සමග විශාල ව්‍යාපාරකයෙකු බවට පත්වෙයි. වසර ගණනාවකට පසු ඔහු සිය මිණිබිරියගේ අවශ්‍යතාවයක් මත යලි ගමට පැමිණේ. ගම මුළුමනින්ම වෙනස්වී ඇති බව දකිනා ඔහු සිය අතීත සුවඳ විඳී.
මෙහි ප්‍රධාන චරිත ද්විත්වය ලෙස ඉස්මතු වන්නේ වීරප්පුලි හේන්යාගේ සහ කේන්ද්‍රීය චරිතය වූ බබා හේන්යාගේ චරිතයයි. කුලය පිළබඳ බැඳුණු ජිවිතයේ පරිවර්තනයට පෙර යුගය පෙන්වීමට කේන්ද්‍රීය චරිතය මෙන්ම අද්විතීය ලෙස නිරූපිත වීරප්පුලි හේන්යාගේ චරිතය හා බබා හේන්යාගේ කුඩා කාලයද අන්තර් යුගය හා පසුයුගය පෙන්වීමට බබා හේන්යාගේ චරිතය හා වයෝවෘද්ධ අවස්ථාවන් කතුවරයා පාඨකයන් අසලට සමීප කරවයි. කුලවාදය පැලපදියම් වූ සමාජයක මිනිසුන්ගේ සමාජීය මෙන්ම මානසික පීඩනයද චරිත හැසිරෙන ආකාරය මගින් විවරණය කරන නිර්මාණයකි. ඒ බව නිර්මාණකරුවා පාඨකයා අතරට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් යොදාගන්නේ වීරප්පුලි හේන්යාගේ චරිතය හා ඒ ඔස්සේ ඉස්මතු කොට ගොඩ නගන බබා හේන්යාගේ චරිතයයි. මල්මා රිදී, පොඩිනා, හීන් රිදී මෙහි පණ පොවන තවත් චරිත ලෙස හඳුන්වාදිය හැක.
මුල් කාලයෙ බබා හේන්යා ලෙසද පසුකාලයේ වික්ටර් සූරතිස්ස ලෙසද, පාඨකයා අතරට මෙම චරිතය සමීප වෙයි. නමුත් බබා හේන්යා විසින් සිය නම වෙනස් කලද, කුලය පිළිබඳ හීනමානය හෙවනැල්ලක් සේ ඔහු පසුපස හඹා එයි. පුද්ගලයා ධනයෙන්, අධ්‍යාපනයෙන් පෝෂිත වූවත්, කුල හීනමානය වලදැමිය නොහැකි සමාජ වණයක් බව බබා හේන්යාගේ චරිතයෙන් පිළිබිඹු වෙයි.
මෙම නවකතාවේ කථකයා සම්පූර්ණයෙන් සැඟවීම හෙවත් අතුරුදහන්ව සිටීම විශේෂතාවයකි. මෙමගින් සිදුව ඇත්තේ චරිත පිළබඳ අභ්‍යන්තර හා භාහිර සියලු තතු සම්පූර්ණයෙන් දන්නා ලේඛකයා විසින් අවශ්‍ය පරිදි පාඨකයා ඒ ඒ චරිත හා සිදුවීම් තුලට රැගෙන යාමයි. කතුවරයා පවසන පරිදි මෙම උත්තම පුරුෂ කථන ක්‍රමයයි. නමුත් අප උගෙන ඇති උපක්‍රමයන් හා සසඳා බලන කල අපට දැනෙන අයුරින් මෙය ප්‍රථම පුරුෂ සර්වවේදී පුර්ණ වේ. කතුවරයා මෙය උත්තම පුරුෂ යැයි කියන්නේ පිටස්තරයෙකුව හිඳ ඔහු එම කතාව කියන බැවිනි.
කාලයත් සමග කුලවාදය සඟවා තැබීමෙන් බබා හේන්යා තම ජීවිත අභිවෘද්ධිය කරා ගමන් කරයි. අවසානයේ ඔහු වෙළඳ ව්‍යාපාර රැසක හිමිකරු බවට පත්වී කුලීනයන් පවා තමන් යටතේ සේවයට ගනිමින් මේ කුලහින වූ බබා හේන්යා යන තම නමද වෙනස් කර සමාජයේ ඉහලටම ගමන් කරයි. 1930 ගණන් වල පැවති අතින් රෙදි සෝදා කුලීනයන් වෙත ලබාදුන් කරත්ත මගින් ගමන් කළ මෝටර් රථද සීමිත ලෙස පැවති අහිංසක කුලහීන ගැමියන් විසින් බස් රියෙන් බැසිය යුතු ස්ථානය නොදැන මග ඇරේයයි බියෙන් ගව් ගණනක් දුර යන කාලසීමාවක් හා සමාජ සංස්කෘතික පසුබිමක්, ව්‍යාජ ගතියක් නොදැනෙන පරිදි ලේඛකයා ඉදිරිපත් කර ඇත. අවසාන පරිච්ඡේදයේ දැක්වෙන,
“මෙයට වසර හැත්තෑවකට පෙර කතාවකට ඔහුට අද යළිත් පිවිසීමට සිදුවී තිබේ.” යනුවෙනි.
කතා වින්‍යාසය අනුව කාලය වර්තමානය සහ අතීතය අතර දෝලනය වන අතර, සිරිලක සබරගමුව පළාතේ පල්ලේබැද්ද, ගොඩකවෙල ප්‍රදේශයේ නොදියුණු ගමක් ලෙස රිදීවිට දක්වා ඇත.
නිර්මාණයක් ගොඩනැගී තිබෙන්නේ භාෂාව මතය. මෙහි ඔහු යොදාගෙන තිබෙන්නේ පණ්ඩිතමානී භාෂාවක් නොව සරල කාව්‍යාත්මක භාෂාවකි. භාෂාව සිනමාවේදී ලෙස ඉදිරිපත් කර ඇත. බබා හේන්යා පාසලට භාරදීමට ගොස් පාසලෙන් නික්ම යලිත් ආපසු හැරී යලිත් පාසල දෙස හැරීම මෙයට නිදසුනකි. පොඩිනා වල් නයිදේ අතින් දූෂණය වූ අවස්ථාව චිත්තරූප නංවමින් නිමවා ඇත. එමෙන්ම “ඇටකිච්චෝ”, “අනුරාජපුරේ”, “රේන්දය”, “නයිදේ” යන වචන ඇසුරින් නිරූපණය වන්නේ ගැමි බස්වහර හා ගැමි සංස්කෘතිය වේ. මෙහි සංකේතද බහුලව යොදාගෙන ඇත. සෙංකොට්ටං යන නම සංකේතයකි. සෙංකොට්ටං නාමයේ “න්” කපා “o” දමා තිබෙන්නේ සෙංකොට්ටං විසින් සලකුණක් දැමූ විට එය මකා දැමිය නොහැකි බව අවධාරණය කරනු පිණිසය. ලොව පවත්නා සත්‍ය අසත්‍යයයෙන් වෙන්කර තැබුවත් සත්‍ය සෙංකොට්ටං සලකුණක් සේ සදා නොමැකී පවතී.
බබානිස් හා ඔහුගේ මව තුළින් පහත් කුල අතරද, කුලවාදය පවතින බව කතුවරයා මනාව නිරූපණය කර ඇත.
“රදා හැත්ත එවාපිය මගේ ගෑණිව.”
“අපිට නම් කොහෙත්ම උවමනාවක් නෑ රදා උන් එක්කලා නෑකම් පවත්වන්න.”
උප ප්‍රධාන චරිතයක් ලෙස පොඩිනාගේ චරිතය හඳුන්වාදිය හැකිය. පොදුවේ ස්ත්‍රිය ලැබීමට බලාපොරොත්තුවන ආදරයක් සොයා යන තමන්ගේ සිත අනුව ක්‍රියාකරන අවස්ථානෝචිත නිර්භීත යම් අවස්ථාවලදී කලබලකාරී ලෙස ක්‍රියාකරන චරිතයකි. ඇගේ සිත ආදරය වෙනුවෙන් ක්‍රියා කරන්නේ “තමා මෙතෙක් කල් සෙවූ පෙම්වතා හමුවූ බව පමණක් සිතා...” තමාට එකී ආදරය සදාකල් නොලැබෙන බව දැන දැන වුවද සාමාන්‍ය ස්ත්‍රියක් සේ මෙහිදී ඇය මුලා වූවාය.
අතීතයේ රජවරුන්ට ද්‍රෝහීවීම හෝ අකටයුතුකම් නිසා උසස් කුලවල රජදරුවන් පවා ඉතා පහත් කුලවලට නෙරපීම රජයේ අවශ්‍යතාවය සඳහා වැඩකටයුතු බෙදා ගැනීමෙන් එක් එක් කුලවලට සමාජය වෙන්වූ ආකාරයත් නිසා මිනිසුන් විවිධ ස්ථරවලට බෙදීගොස් මිනිසුන් අතර ඇතිවූ කුල භේදය මිනිසුන් විසින් පීඩනයට ලක්කිරීම මනුෂ්‍යත්වයෙන් තොරවීමක් බව ඒත්තු ගැන්වේ.
ඉතාම සංවේදී අතිශය සාමාන්‍ය ලෙස රචිත නවකතාවකි. නවකතාවක් එය සාමාන්‍ය හුරුපුරුදු තෙතමනය නිසාම අපූර්වත්වයෙන් යුතුය. මෙහි අවසානයේ එන වර්තමාන කතාව මුල් කතාව විකාශනයෙන් දශක හයක් පමණ දීර්ඝ කාල පරාසයකට පසුව දක්වා තිබීම දුර්වලතාවයකැයි සිතේ. එහි එක් පරම්පරාවක කතා පුවතක් නැති හිඩස පාඨකයාට දැනේ.
කුලය යනු ආරෝපිත තත්ත්වයකි. නමුත් සමාජ චල්‍යතාවය තුලින් සාධිත තත්ත්වයන් ඇතිකරගත හැකි බව සෙංකොට්ටං නවකතාව තුලින් ඉස්මතු කර ඇත. 

නවකතා මතකයන්...හෙවනැල්ල



හෙවනැල්ල - සිරි ගුණසිංහ


1960 දී සිරි ගුණසිංහ විසින් රචිත හෙවනැල්ල නවකතාව සිංහල නවකතා ඉතිහාසයේ හමුවන පළමුවන මනෝවිද්‍යාත්මක නවකතාව සේම එම යුගයේ විඥාන ධාරා රීතියට අනුව ලියවුණු සාර්ථකම නවකතාවයි. මීට පෙර සිංහල නවකතා දෙක තුනකම මනෝවිද්‍යාත්මක රචනා ක්‍රමය භාවිතා කර තිබුණ ද ඒ එකම නවකතාවකවත් හෙවනැල්ලේ තරම් ක්‍රමවත් ලෙස මේ රචනා ක්‍රමය භාවිත කර නැත. හෙවනැල්ල වැදගත් අදහසක් ගැබ්කොට ගෙන රචනා කර තිබෙන ග්‍රන්ථයකි. ජිනදාසගේ සිතුවිල් ඔහු ලවාම සිතීමට ඉඩ සලස්වමින් කතුවරයා විඥානධාරා රීතිය භාෂා උපක්‍රමයක් වශයෙන් නොව වස්තු විෂය වශයෙන් යොදාගනිමින් නිර්මාණය කරන ලදී.
ප්‍රධාන චරිතය වන ජිනදාස නිරූපණය කිරීමට සම්පූර්ණ පොතම මිඩංගුකොට තිබේ. ජිනදාස ඉතාම සුකුමාල මනසක් ඇති ආධ්‍යාත්මය කෙරෙහි යොමුවුණු සිතක් ඇති තැනැත්තෙකි. මේ කරුණු නිසා ඔහු සහජයෙන්ම යහපත් ගුණධර්ම ඇති ළමයෙකු වෙයි. ඔහුගේ ළමා පරිසරය නිසා මේ ගතිගුණ තවතවත් තහවුරු වේ. ඔහු මවගෙන් පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් සැමවිටම උපදෙස් ලබන්නේ හොඳ ගතිගුණ වගාකර ගැනීමටත්, යහපත් ලෙස හැසිරීමටත්ය.
“ජිනදාස උප්පත්තියෙන්ම හොඳ ළමයෙකි. ජිනදාස තරම් ගුණයෙන් සීදේවී දරුවෙක් හතරගම්මානෙත් නොසිටියේය. ගමේ කවුරුත් කීවේ ජිනදාසගේ ගුණයහපත්කම ගැනය. තම වයසේ අනික් ළමයින්ගේ කෙළි සෙල්ලම්වලට ඔහුගේ කිසිම අසාවක් නැත.
ජිනදාසගේ මව උපාධි අපේක්ෂකයෙකු වූ විජේපාලද, විශ්වවිද්‍යාල ශිෂ්‍යයාවක වූ කාන්ති හා පුවත්පත් කලාවේදියෙකු වූ ජයරත්න යන සෙසු චරිතයන්ද, ජිනදාසගේ චරිතය විකාශය කිරීමට ගුණසිංහයන් යොදාගෙන ඇත. ළමා පරිසරයේ සංකේතයන් වන මව, ජිනදාසගේ චරිතය කෙරෙහි බලපාන ප්‍රබල බලවේගයක් බව කිව හැකිය. ළමා කාලයේදී ජිනදාසගේ සිතුම් පැතුම් මිනිස් ජීවිතය කෙරෙහි පහලවන අදහස් නැතහොත් ඔහුගේ සම්පූර්ණ චරිතයම මවගේ බලපෑම මත හැඩගැසුණි. මවගේ චරිතය හෙවනැල්ලක් මෙන් ඔහු පසුපස ගමන් කරමින් ඔහුගේ ජීවිතය කෙරෙහි තදින් බලපාන බැවින් එයින් ඔහුට ගැලවිය නොහැක. ළමා කල ගතකළ හුදකලා ජීවිතය නිසා ජිනදාස තම මවගේ සේයාවක් බවට පරිවර්ථනය වේ.
“ජිනදාසගේ එකම උපදේශකයා අම්මාය. ඔහුගේ අස්සක් මුල්ලක් නෑරම ඇත්තේ ඇගේ සේයාවයි.”
ජිනදාස අනිත් තරුණයන් මෙන් නොව සමාජයේ හැසිරීමට ලැජ්ජාශීලී ඇත්තෙකි. අනිත් තරුණයන් මෙන් විනෝදවීමට, කාන්තා ඇසුරට, මත්පැනට ආශා කළද, ගමෙන් උපන් සිතුවිලි හා මවගේ සේයාව ඔහු රජයන හෙයින් එම ආශාවන් යටපත් කරමින් ජීවත්විය.
“මට මෙතන අල්ලන්නෙ නැත්තෙ විජේ වෙන එකක් හන්ද නෙමෙයි. මෙතන ඉන්නෙ ඔක්කොම මහ වල්ලු හන්ද. මුන් මහ සංවරයක් නැති ඈයො. මුන් දන්නේ හූ කියන එකයි, කුණුහරුප කියන එකයි විතරයි.
“තමුසෙට මෙතන අල්ලන්නෙ නැත්තෙ අපි වල්ලු හන්ද නෙමෙයි. වලෙක් වෙන්න තමුසෙ බය හන්ද. දන්නවැයි? ”
“ඔව් බය තමයි. තමුසෙට සිගරට් බොන්න හොඳටම ආසයි. නැහැ කියනව. තමුසෙට කෙල්ලෙක් යාළුකරගන්න හොඳටම ආසයි. නැහැ කියනව. ඒ උනාට තමුසෙ බයයි. ”
            විජේ පවසන්නේ ඇත්ත ය. ජිනදාසට කල්පනා කර බැලූ විට ඒ බව වැටහෙයි. ඔහුගේ යටපත් කොටගෙන තිබූ ආශාවන් ප්‍රෙක්ෂකයා හඳුනාගන්නේ මෙම අවස්ථාවේදී ය.
“කාන්ති එක්ක මම කොහොමද එදා කතා කරන්න පටන් ගත්තෙ? විජේ තමයි ඒකටත් මග පාදල දුන්නෙ. විජේ හොඳ එකා. කොහොමහරි මාව ඇදන් ගිහිල්ල කාන්ති ළඟින්ම වාඩි කෙරෙව්වනෙ. හොඳ එකා.”
ඔහු කාන්තිට ඔහුගේ යටි සිතින් ආදරය කරයි. එනමුදු එය භාහිර ලෝකයාට පෙන්වීමට තරම් ශක්තියක් ඔහු සතු නැත. නවකතාව හෙවනැල්ල යනුවෙන් නම්කොට තිබීම ජිනදාසගේ ළමා ජීවිතය අත්දැකීම් සංකේතානුසාරයෙන් දැක්වීමට තැත්කිරීමකි. මේ සංකේතය එතරම් සියුම් අන්දමින් යොදා නැතත්, නවකතාවෙන් කියවෙන අත්දැකීම් සාරවත් වීමට එය යම්තරමක් දුරට උපකාරී වේ. ජිනදාසගේ මව හෙවනැල්ලක් සේ ජිනදාසගේ පිටුපස ගමන්කරන සැටි විචිත්‍රාකාරයෙන් නවකතාවෙන් විස්තර වේ.
කතුවරයාගේ කෞෂල්‍ය ඉතාම ඉස්මතුවී පෙනෙන්නේ භාෂාව භාවිත කර තිබෙන අන්දම සලකා බලන විට ය. වචන තෝරා ගැනීමේ සිට ගැළපීම දක්වාම තිබෙන සියුම් හැඟීමත් සංයමයත් අතින් බොහෝ සිංහල නවකතා ගැන සිතා බලන විට හෙවනැල්ල පුදුම දනවන සුළුය. ජිනදාසගේ අභ්‍යන්තර ජීවිතය පිළිබඳ දීර්ඝ විස්තර වලදී කතුවරයා කතා ව්‍යවහාරයේ දක්නට ලැබෙන වචන මාලාවත් ලයත් සාර්ථක ලෙස භාවිත කර තිබේ. එදිනෙදා ජීවිතයේ උපුටා ගත් චිත්ත රූප භාවිත කිරීම භාෂාවේ තවත් වැදගත් ලක්ෂණයකි. මේ චිත්ත රූප මගින් අදහස් හා හැඟීම් නියත ලෙස ප්‍රකාශ කිරීමට හැකි වී තිබේ.
            හෙවනැල්ල නවකතාව සීමිත ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය නිරූපණය කරයි. ජිනදාසගේ සිත තුළ පහළවන හැඟීම් සියල්ලක්ම අප හමුවේ තැබීමටත් කතාවේ අන් චරිත පිළිබඳ අභ්‍යන්තර විග්‍රහයට කතුවරයා නොහැසිරවීමටත් මෙම දෘෂ්ටි කෝණය උපයෝගී කරගෙන තිබේ.
            හෙවනැල්ල නවකතාවේ කතා වින්‍යාසය ආරම්භවන විට ජිනදාස විශ්වවිද්‍යාලයට ඇතුල්වූවා පමණි. ඔහුගේ ළමා පරිසරය අතීතය හා සම්බන්ධ වැදගත් පුවත් කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් නිරූපණය කර තිබේ. ඔහුගේ ළමා ජීවිතෙයේ සෑම අත්දැකීමක්ම මව ප්‍රධාන කොට ඇති ඒවාය. මව ඔහුගේ ළමා පරිසරයේ සංකේතයක් වන අතරම ඈ ඔහුගේ ජීවිතය කෙරෙහි බලපාන බලවේගයන් අතුරින් ඉතාම පසුපස සෙවනැල්ලක් මෙන් ගමන් කරයි.
            හෙවනැල්ල ගමින් නගරයට විශ්වවිද්‍යාල සංස්කෘතියට බව එහි සැරිසරන විශ්වවිද්‍යාල සමාජ පසුබිම කේන්ද්‍රකොටගෙන ගොඩනැගුණු නවකතාවකි.
            කතුවරයා ජිනදාසගේ චරිතය තුළින් ජීවිතයේ යථාර්ථය ස්වරූපය අව්‍යාජව නිරූපණය කර ඇත. ජිනදාසගේ චරිතය වටා මෙහි සෑම චරිතයක්ම බැඳී පවතී. හුදකලා වූ නිහඬ චරිතයක් ජිනදාස තුලින් ඉස්මතු වූවද, ඔහුගේ යටි සිටත සහ උඩු සිත ද්විත්ව ආකාරයෙන් නිරූපණය වේ. හෙවනැල්ල කතාව අවසානයේ අපට හමුවුනේ යා යුතු කොහේද? කළ යුතු කුමක්දැයි තේරුම්ගත නොහැකිව ජීවන මාවතේ අතරමං වූ තරුණ ශිෂ්‍යයකු වූ ජිනදාසය. අවසන් ඡේද කිහිපයෙන් කියවෙන්නේ කතාවේ තේමාවයි. ජිනදාස අතීතයෙන් පලා යා යුතුය. ජීවිතය නොබිඳුණු බලාපොරොත්තුවකි. එහෙත් තමාගේ හෙවනැල්ලෙන් ඔහුට ගැලවිය නොහැකිය.

Monday, January 2, 2017

නවකතා මතකයන්...චරිත තුනක්

චරිත තුනක් - කේ. ජයතිලක


                   බොහෝ නවකතා උදයකින් පටන්ගෙන සවසකින් අවසන් වන නමුත් ඉසාගේ ළමාවිය, තරුණ විය, මහලු විය, පිළිබද ජවනිකා තුනක් ඉතිරිවන පරිදි කාලය ඒ අතරින් සෙමින් ගලයි. දරුවන් හතර දෙනෙකුන් යුතු පව්ලෙහි වැඩිමල ඉසාය. සනා, නලී, රංජිත් වන සහෝදර සහෝදරියන් මැද ඔහුගෙන් පවුලට විශාල සේවයක් දෙමාපියන් බලාපොරොත්තු විය. ඔවුන් ජිවත් වන්නේ ගොවිතැන රැකියාව කොටගෙන බැවින් නොයෙක් ලෙස ජිවිතයට ස්වභාව ධර්මයෙන්  පවා බාධාවන් සිදුවිය.

                     '' ඇල වක්කලමෙන් වේල්ල කඩාගෙන ගිහින් කහටගහ ලියද්ද සේරම පාළු වෙලා.''

                    තාත්තා පවසන්නේ ඉමහත් සංවේගයෙනි. ඔවුන්ගේ එකම ජීවන මාර්ගය කඩා බිදවටෙන්නට  යාම ඉවසිය නොහැක්කකි.දෙවියන් පවා විටෙක දුප්පත් මිනිසාට එරෙහි වන බව මව පවසන මෙම වචන වලින් වටහා ගත්ත හැකිය.

                        '' හරියට කෙනෙක් කියල කරනවා වගේ කරෝලිස්ගේ ලියද්ද බේරලා හැමදාම මෙතනින්මයි  කඩාඩුව කැඩෙන්නෙ.''

                           ගොවිජන ජීවිතය දුක, කදුල, උත්සාහය,කැපවීම,යන නොයෙක් කරුණු අනුව ගත වෙන්නකි. මෙම නිසා ජිවිතයේ ලාබ මෙන්ම පාඩුද විදගත යුතුය. ඉසට මෙම පරිසරය තුල අතපය බැදගත් පිරිමි චරිතයක් ගත කිරීමට නොහැකිය. තම මල්ලිලා සහ නංගි මෙන් වැලිබත් උයමින් කල්ගෙවිය නොහැකිය. පව්ලෙහි වැඩිමලා  ලෙස ගෙදර බර ටිකක් හෝ කරට ගැනීම අවශ්‍ය උවද ඔහුගෙන් එබන්දක් අපේක්ෂා කල නොහැකිය. ඉසා වතුපිටියේ වැඩට පියාට කිසිදු උදව්වක් කිරීමට ඉදිරිපත් නොවීම ගෙදර දෙමහල්ලන්ගේද අප්‍රසාදයට හේතු විය. 

                  '' අපට ඉතින් හැදුනොත් අහන්න තියෙනවද ?මාත් මේ කුස්සියට රිංගාගෙන උදේ හවා බත් තම්බා පරණ ණය ගෙවනවා..

                  වැඩිමහල් සහෝදරයා වන ඉසා අනිකුත් සහෝදරයන්ට ලැබෙන වරප්‍රසාද වලින් ඉවත්ව ගියේය. සෙසු ලාබාල සහෝදරයන් අභියස ඔහුට නොයෙක් පරිත්‍යාග කිරීමට සිදුවේ.


“මගේ සරම නම් ඊයේ අපුල්ලලා ගෙනත් තිබුණා. කමිසයක් විතරක් ඉල්ලලා ගත්තොත් මට පුළුවනි එන්න.” යනුවෙන් ඉසා මෙසේ පවසන්නේ නිවසින් පිටත නව ලෝකයක් සොයා ඔහුටත් යාමට ඇති අවශ්‍යතාවය හෙයිනි. නමුදු පියා පවසන මෙම වදනින් ඔහු පවුල තුල සෙසු සහෝදරයන් ලබන වරප්‍රසාද ඔහුට අහිමිවන බව ප්‍රකට වෙයි.
“එහෙනම් ඒක සනාට දීපිය. තෝ ගොහින් කොහොමද මෙතන හරකෙක්වත් බඳින්නෙ. මෙම වදන් වලින් ප්‍රකට වන්නේ ඔහු පවුල තුල වගකීමක් දරණ පුද්ගලයෙකු ලෙස කටයුතු කළ යුතු බව නිවසේ වැඩිමහල්ලෝ සිතන බවය.
ඔවුන්ගේ ජීවිත ගෙවෙන්නේ ගොවිතැන ජීවිතයේ මූලිකත්වය කරගෙනය. කුඹුරට වන අතුරු ආන්තරා ඔවුන්ගේ ජීවිත තුලට ලබන දුක්ගැහැට ලෙස සිතීමට තරම් ගොවිතැන හා නිවස ඒකාබද්ධ වී ඇත. ඉසා පියාට මෙසේ පවසන්නේ මෙම අර්ථ ජනිත කිරීමටයි.
“කරෝලිස්ගේ කුඹුරෙත් ඊයෙ ලණු ඇද්දා. ඒකෙ හිටපු මැස්සො වෙන්න ඇති අපේ ලියද්දට ඇවිත් ඉන්නෙ.
ස්වභාවික විපත් මෙන්ම නොයෙක් කුඩා සතුන්ගෙන් පවා අතුරු ආන්තරා ගොවිතැනට නැතුවාම නොවේ. එමෙන්ම ගම්වල ඉන්න නොයෙකුත් මිනිසුන්ගේ කටකතාවන්ද ඔවුන් පවසන වදන්ද කර්මාන්තයන් ඵලදායී වීමට මෙන්ම හීනදායී වීමටද හේතුවන බව චරිත තුනක් ඇත්තෝ පිළිගත් බව මෙම කියමනෙන් පෙන්වා දිය හැකිය.
“එදා කුඹුරට මැස්සො වහල කියපුවහම අබරංකාරයා ගත් කටටම කිවුවේ උඹේ කුඹුරට නම් මැස්සො තියා යක්කු වැහුවහම මොකද, මේ බුලත් කොටුව තියෙනකල් කියලා.”
“එහෙනම් ඉතින් අහන්න දෙයක්ද මෙච්චර දවසක්වත් ඕක බේරිලා තිබුණ එකයි පුදුමෙ.”
මේ වැඩිමහල් දෙමහල්ලන්ගේ කතාබහෙන් ජනිත කරවන්නේ නොයෙක් හැලහැප්පීම් මත ජීවන යාත්‍රාව පැදවිය යුතු බවය.
“මොනව කරන්නද මන්ද අටුවෙ වී ටිකත් ඉවරයි වගේ. අද තම්බන්න වී ගන්නකොට හරියට මගෙ පපුව සූරන්නහේ කූඩෙ නිකන් කරාස් කරාස් ගාලා අඩියෙ හැපුණ.”
“වී ටිකත් ඉවරද ? කාලා තියෙයි එහෙනම්.”
“දැන් රටේ කාටත් අමාරුයි. මුලාදෑනි ගෙදරින් අද මං ඉන්ටැද්දි කඩේට එවල අල භාගයයි ගෙන්නා ගත්තෙ.”
“මුලාදෑනියමත් මං කීපදොහේ දැක්ක කඩේට ඇවිත් තනි සුදු ආප්පෙ කාල නිකන් තේ එක බීල යනව.”
            චරිත තුනක් නවකතාව ධනවාදී පන්තිය නිරූපණය කරන නවකතාවක් නොව සමාජයේ පහලම පන්තියේ සිට ජීවිතය දිනන්නට උත්සහ කරන එක් ගැමි තරුණයෙකුගේ කතාවකි. ඔහුගේ චරිතයේ ඉස්මතුවන්නේ කතාව ආරම්භයේ නොවය. එදා තිබූ සමාජ තත්ත්වය හා සමාජ ක්‍රමය අනුව ඉසාගේ පවුල වැනි දුප්පත් පවුල් පමණක් නොව ගමේ ඉහල පෙළ යැයි සිතන මුලාදෑනි පවුල පවා ජීවිතය ගැටගහගත්තේ ඉතාමත් අමාරුවෙන් බව මෙයින් වටහාගත හැකිය.
            සිය පවුලේ බාල සහෝදර සහෝදරියන් හමුවේ පරිත්‍යාගයන් කැපකිරීම් කළ ඉසාගේ චරිතය ප්‍රේක්ෂකයා හමුවේ ඉස්මතුවන්නේ කතාවේ අවසන් භාගයේදීය. ඔහු හා ලලිතා අතර ඇතිවූයේ ප්‍රේමයම නොවේය. ඔහුගේ ජීවිතයට ලලිතාගෙන් නොයෙකුත් උපදෙස් ලැබුණි. ඔහුට දිරිය වූයේ ඇයයි.
“ඔයා කිව්ව නේද දවසක් කෝකිලාන කපලා හේනක් හදන්න ඕනේ කියලා. කෝ තවම නැද්ද පටන් ගත්තෙ? ”
“ඕක එළිපෙහෙලි කරල මුකුත් හිටවගත්තොත් ඒකම මදැයි ජීවත්වෙන්ට.”
සිය සහෝදරයන් මෙන් කෙලිදෙලෙන් උත්සහ කළ ඉසාගේ ජීවිතය වගකීමෙන් යුතුව කටයුතු කරන තරුණයෙකුගේ චරිතයක් බවට පත්වන්නේ ලලිතාගේ මගපෙන්වීම යටතේදීය.
අධ්‍යාපනයෙන් නොදියුණු එකල දෙමාපියන්ගේ මූලික පරමාර්ථය පාසල් යවා දරුවන් අකුරු කිරීමට හුරු කිරීම නොව වතුපිටි වැඩක් ඉගෙන ගන්නා හේනක කුඹුරක හරි හරියට වැඩ කරන්නට ඉගෙන ගන්නා පුතෙකු බිහිකිරීමය. නැතිනම් ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් මැනවින් පුහුණු කළ දියණියක බිහිකර ගැනීමටය. පියා පවසන මෙම වදනින් මේ බව ප්‍රකට වෙයි.
“ගුරුකම් ගන්ටයැ ඉස්කෝලෙ යවන්නෙ. තොට හරකෙක්වත් බඳින්න බැරිවෙලා තියෙන්නෙ ඔය කෝලෙ හින්ද තමයි.”
“පොත! පොත! හැමතිස්සෙම පොත? ඕකෙම ඇහැ ගහගෙන හිටපිය, ඕකෙ ඇති කන්ට හම්බවෙන හැටි කියලා.”
අවසානයේදී ඉසා කෝකිලානේ සිටාණන් බවට පත්වෙයි. ඔහු කෝකිලාන වවා සිය සහෝදරයන් දියුණුවෙනු ආශාවෙන් බලාහිදී. රංජිත් අධ්‍යාපනය හොඳින් හදාරා ඉහල චරිතයක් බවට පත්වෙයි. සනා බේබදු පුද්ගලයෙකු බවට පත්වෙයි. සමාජයේ පවුල් තුල අවසානයේ පවතින ඉඩකඩම් උදෙසා සහෝදරයන් තුල පවතින අර්බුදය කේ. ජයතිලකයන් චරිත තුනක් නවකතාවේද අවසානයේ ඉදිරිපත් කරයි. මේ බව සනා හා ඇගේ බිරිඳ පවසන වදන්වලින් ගම්‍ය වෙයි.
“අපිත් යකෝ අමුතු විදියකට ආවෙ නෑ. මේ ගමේ අනික් ගෑණු එන විදියටමයි ආවෙ. මගේ මිනිහට නැද්ද මේ ඉඩම්වල අයිතියක්.”
“මුන් ලක්ෂපතියො වෙන්න හදන්නෙ අපේ ඔළුවට අත හෝදලානෙ. ඔතන මටත් අයිතියි. හදමු එහෙනම් ගෙවල් බලන්ට. ඕවට යටවෙලා ඉන්නෙ මේ සනා නෙවෙයි.”
මෙම හබයට රංජිත්ද හවුල් වෙයි. ඔහු පවසන්නේ මහගේ සනාට නොව තමාට අයිති බවයි.
“හරිනම් ඔය ගේත් අයිති මටයි. බාලයාට එපැයි මහගේ අයිති වෙන්ට.”
කෙලිදෙලෙන් ගතකළ සියල්ලෝම ජීවිත අවසානයේ ධනය පසුපස හබායන අයුරු මෙම නවකතාවේ ඉස්මතුකර ඇත. ඉසා පවසන්නේ රංජිත්ගේ තත්ත්වය අනුව මහගේ ඔහුට නොගැලපෙන බවය.
“ඒ උනාට ඕකෙ ලී දඬු ටික වහලෙට, දොර ජනෙල්වලට දාල තියෙන ස්වල්ප වටිනාකමක්ද? ඒ වගේ මෝරපු ගස් අද කොහෙන්ද දකින්නවත් තියෙන්නෙ.”
රංජිත් ද, අවසානයේ සහෝදරයන්ගේ පිහිටෙන් ජීවිතය දිනුවද අවසානයේ ආත්මාර්ථකාමී චරිතයක් බවට පත්වෙයි. ඉසා කෙතරම් සිය සහෝදරයන්ට, සහෝදරයන්ගේ දරුවන්ට ආදරය කලද, ඔවුන් ඔහුට පවසන්නේ කෝකිලානෙ මිනිහා යනුවෙනි.
සනාගේ ජීවිතය දිලිඳුකම රජයන අතර, රංජිත්ගේ ජීවිතය සැපවත්ව ගලා යයි. ඉසාගේ ජීවිතය තනිකඩව ගලා යයි.
“සනාගේ ගෙදර පහනක් දැල්වේ. රංජිත්ගේ ගෙදර ලාම්පුවක් පත්තුවේ. මගේ හදතුළ වූ කිසියම් ආවරණයක් කිසිවෙක් විසින් ඉවත් කිරීමෙන් ආලෝකයක් පහල වූවාක් මෙන් මට දැනිණ.”
මාටින් වික්‍රමසිංහයන් ගම්පෙරළියට වඩා මැනවින් කේ. ජයතිලකයන් චරිත තුනක් ඔස්සේ ගම ගැන විවරණය කළ බව පෙන්වා දිය හැකිය.

Wednesday, December 21, 2016

නවකතා මතකයන්...විරාගය

විරාගය - මාර්ටින් වික්‍රමසිංහ



                                       මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තෙලිතුඩින් නිමවූ අපූරු නිමවුමක් ලෙස "විරාගය" නවකතාව පෙන්වා දිය හැකිය.රාගයද,ප්‍රේමයද නැතිනම් ඔහු තුළ වූයේ විරාගයද යන්න පාඨකයා තුළ විමසුමට ලක් වූ කෘතියක් ලෙස පෙන්වාදිය හැකිය.මෙහි ප්‍රධාන චරිතය බවට පත්වන්නේ අරවින්ද නම් තරුණයෙකි.අරවින්දගේ පියා සිංහල වෛද්‍යවරයෙකි.ඔහු උපයා ගන්නා සීමිත මුදලින් බිරිය හා දුවත් අරවින්දවත් පෝෂණය කරනු ලබයි.පියාට අවශ්‍යය වන්නේ අරවින්ද දොස්තර මහත්මයකු වනු දැකීමය.නමුත් අරවින්දට එය අනවශ්‍යය වෙයි.දියණියවත් හොඳ දෑවැද්දක් සහිතව ධර්මසිරිට විවාහ කර දෙයි.දොස්තර මහත්මයකු වනු දැකීම,විශාල දෑවැද්දක් සහිත විවාහ සමාජයේ ඉහළ පෙළෙහි වැජඹීමට දරන ප්‍රයාසයන් ය.
                                       
                                      අරවින්දගේ හිත බැදුනේ සරෝජනී කෙරෙහිය.සරෝජනීගේද හිත අරවින්දට ලෙන්ගතු විය.නමුදු අරවින්දගේ ප්‍රේමය ඉස්මතු කිරීමට ඔහු අසමත්ය.මෙබැවින් දෙමාපිය කැමැත්ත ඇතිව සරෝජනී සිරිදාස සමඟ විවාහ වෙයි.මාස තුනක් පමණි රෙ‍ා්ගීව හිදීමෙන් අනතුරුව අරවින්දගේ පියා මිය යයි.අරවින්දට වගකීමෙන් කටයුතු කිරීමට සිදුවන්නේත් මේකලාගේ මසුරුකම් ඉස්මතු වන්නේත් මෙතැන් සිටය.පියාට වියදම් වූ ඒවාට හිලව් කියමින් ඇය මහගෙදර බොහෝ දගෙනියන්නට වූවා ය.අවසානයේ ඇය මහගෙදරද ඔවුන් සතුකරගනියි.විවාහයත් සමඟ පුද්ගල ජීවිතයේ සිදුවන වෙනස්කම් තම තමන්ගේ ජීවිත සුඛෝපභෝගි කරගැන්මට ලේ ඥාති බැඳීමී පවා හේතු කාරණා නොවන බව මෙයින් ඉස්මතු වෙයි.

                                        මෙම සිදුවීම් නිසා මව වෙනත් නෑ නිවසක නැවතීමට යක්නේ දියණියගේ අකටයුතුකම් තවත් දැකීමට අකමැති හෙයිනි.ඉන්පසු නිවසෙහි අනුලාත්,ධර්මදාසත් ඔවුන්ගේ පුතු වන සිරිමලුත්,අරවින්දත් තනිවිය.අරවින්ද රසායන විද්‍යාව අත්හදා බැලීම් වලට රුචි කරයි.මෙම නිසා ඔහුගේ පරීක්ෂණයක් අවසානයේ පිපිරීමෙන් ඔහුට ඇගිල්ලක්ද අහිමි වෙයි.යෙින් පසුව සිරිමල්ව අරවින්දගේ කාමරයට යැවීමට පවා දෙමහල්ලෝ භිය වූහ.මෙම හේතු නිසා අරවින්ද වෙනම ගෙයක් කුලියට ගන්නා අතර එහි ඔහුගේ මෙහයට ගුණවතී හා ඇගේ දියණිය බතී නවතා ගනු ලබයි.

                                        අරවින්දගේ ජීවිතය තුළ ගැහැණුන් දෙදෙනෙකු සැරිසරනු දැකිය හැකිය.ඒ සරෝජනී හා බතී ය.බතීට ඔහු තමන්ගේ දරුවෙකුට සේ ඉගැන්වීමට රුචි කළද ඇය වල් කෙල්ලක බවට පත් වෙයි.ඇය ජිනදාස නම් තරැණයෙකුට පෙම් බැදීම නිසා ඇයව ඔහුට විවාහ කර දීමට ඔහු තීරණය කරය.අවසානයේ අරවින්ද රෝගී වන අතර තම පියාට මෙන් සලකනු ලැබුවේ බතී අතිනි.මෙම කතාව සැමී විසින් අරවින්දගේ ජීවිතකතාව කියවීමකි. සිරිදාසගේ ගෙදරදී අරවින්දගේ පොත්පත් හා සුන්බුන් ඇවිස්සීමෙන් සොයාගත් ඔහුගේ ජීවිතපකතාව ආරම්භ වන්නේ දෙවන පරිච්ඡේදයේ සිටය.

                                           අරවින්ද බතී රැකබලා ගැන්මේ ප්‍රතිඵල ඔහු රෝගී වූ අවසානයේ ලබයි. බතී පිළිබඳව කෙබඳු පුද්ගලයන් කෙබඳු කතා ගෙතුවද අවසානයේ ගුණයහපත්, භාර්යාවක්, දියණියක් මතු කිරීමට හැකියාව ලැබී ඇත. ඒ බැව් සිරිදාසගේ මෙම කියමනෙන් පැහැදිලි වෙයි.

"අරවින්ද හුඟක් දුක් වින්දා.බතීට ආරංචි වෙලා ඇවිත් එයා ඇගේ ගෙදරට එක්ක යනකල් අපි දන්නේ නෑ."

"අප කිසිවකුගෙන් නොලබන සැලකිලි හා සාත්තු එයාට බතීගෙන් ලැබුනා."

                                          ඔහු වෙදැදුරාණන් කෙනෙකු වනු දැකීම පියාගේ සතුට වුවද අරවින්දගේ ඒ පිළිබඳව අප්‍රසාදය ප්‍රකාශ කරන්නේ මේ අයුරිනි.

"ලේ දකින විට මට ඉසේරදේ හැදෙනවා. ගෑනියෙකුගේ සෙලු මළකඳකට අත ගහන්නවත් මම කැමති නෑ"
           
                                       දියණිය අරපිරිමැස්මෙන් දිවි ගෙවීමට පුරුදුව  ඇත.ඇය අදින පළදින ආකාරයෙන් පවා ඒ බව ප්‍රකට  වෙයි.අම්මාත් දුවත් අතර දෙබසින් එය වටහා ගත හැකිය.

"උඔ හැමදාමත් කබල් සාරියක් ඇදගෙන  එන්නේ  මන්ද ?"

"අපේ  ගෙදරට එන කොට කොයි එක ඇන්දත් මොකද?"

                                        වයසින් මුහුකුරා යාමත් සමඟ දියණිය සටකපට කාන්තාවක් බවට පත් වී ඇත.අරවින්ද නිරන්තරයෙන් සිතන්නේ සරෝජනී  ඉතා ලාබාල දැරියක් බවයි.ඇය කෙරෙහි  ඔහු  තුළ   ඇත්තේ කාමය,රාගය පිළිබද චේතනාවක් නොව පිරිසිදු චේතනාවකි.ඔහු සිරිදාස සමග මෙසේ පවසන්නේ එම නිසාවෙනි.

"විවාහ ජීවිතය ගැන සිරිදාස තරම් දුරට සිතන්න සරාට තාම වයසක් නෑ"

                                         නමුත් සිරිදාස ඇය ගැන එතරම් ලාබාල ලෙස නොසිතයි. කාන්තාවන්ට ඒවා විශේෂයෙන් පුරුදු පුහුණු කිරීම අවශ්‍යය නොවන බව ඔහු පවසන මෙම වදනින් පැහැදිලි ය.

"හංසයන්ට පීනන්න උගන්වන්න ඕන නෑ. විවාහ ජීවිතය ගැන හිතන්න ගෑනු ළමයින්ට උගන්වන්න ඕන නෑ."

                                         අරවින්ද විසින් තමාව විවාහ කරගන්නා තෙක් සරෝජිනී බලා හිදියි.නොරිකෝ දෙවොන්දරා සං තමාව විවාහ කරගන්නා තෙක් බලාහිදියි. මාර්ටින් වික්‍රමසිංහයන් "විරාගය" තුළින් අරවින්දව ප්‍රේම ලෝක‍යෙන් එපිටට ගෙනගියේ ය.

Tuesday, December 20, 2016

නවකතා මතකකයන්...සිරියාලතා

සිරියාලතා - ඩබ්.ඒ. සිල්වා



                                           ඩබ්.ඒ.සිල්වා මහතාගේ අපූරු නවකතාවක් ලෙස "සිරියාලතා" පෙන්වාදිය හැකිය. මවගේ වියෝවෙන් පසුව තනිවම සමාජගත වීමට සිදු වූ ඇග්නස් නම දැරිය වටා කතාව ගෙතී ඇත.කෘතියේ නම බවට කතුවරයා යොදා ඇත්තේ මවගේ නම වූ සිරියාලතා යන්නය.ඉංග්‍රිසි මෙන්ම සිංහල නම් වලින්ද මෙහි චරිත හැඩගන්වනු ලැබ ඇත.

                                             ඇග්නස්ට අවුරුදු 10 දී මව අහිමි වෙයි.ඇය අසනීපව සිට මිය යාම නිසා ඇගේ තනි නොතනියට කිසිවෙක් ඇයට නොමැති විය.ඇය මරණ ඇදේදී සිය දියණියගේ අතෙහි යන්ත්‍රයක් බැන්දාය.මෙය භාවිතා කීරීමට ඇයට උපදෙස් ලැබුනෙ හදිසි අවස්ථාවකදී පමණි.එසේ ප්‍රයෝජනයට නොගෙනම කටයුතු කරන්නේ නම් තමන්ට කරන ලොකුම උපකාරය බවත් ඇය කිව්වා ය.ඇගනස් එය ක්‍රියා කරන ආකාරය දැනගන්නටත් පෙරම ඇය මිය ගියා ය.ඇයට මවාගන් හිමි වූයේ මෙම යන්ත්‍රය පමණකි.ගෙවලි කුලී එකතු කරන්නා කොරණිස් නම් විය.ඔහු සිය රාජකාරිය සඳහා පැමිණෙන විට ඇය මිය ගොස් ඇති අයුරු දැක නගරයේ බලවතාවූ ජොරණිස් ප්‍රේරාට මේ බව ප්‍රකාශ කරයි.කොරණිස් එකතු කරන මුදල් ලබාදෙන්නේ ඔහුට ය.අහිංසක ජනයාගෙන් රැස් කරගන්නා මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන චරිතයක් ලෙස කතුවරයා ඔහුව හඳුන්වා ඇත.
 
                                               සොපිහාමි නමි කාන්තාව විසින් ඇග්නස්ව ජොරණිස් ප්‍රේරාට භාරදෙන්නී ය.ඔහුගේ දුව කැරොලිනා නම් වෙයි.ඇය අහංකාරයෙන්  යුක්ත චරිතයක් ලෙස දැක්විය හැකිය.ඔවුන්ගේ සෙවණේ  වැඩෙන ඇය කෙමෙන් කෙමෙන් වැඩි වියට පත් වෙයි.ඇත සැමගේම සිත් වශී කරන සුන්දර තරැණියක් බවට පත් වෙයි.කැරොලින් යනු ජොරණිස්ගේ දියණිය ය.අැය සුන්දර යහපත් ඇවතුම් ඇති තරුණියක ලෙස කතුවරයා දක්වා නොමැත.ඇග්නස් යන නම ඇයට හොඳ වැඩි යයි කියා ගුස්තිනා යනුවෙන් ඇයට නම තබයිි.කැරොලින් විවාහ වීමට සිටින්නේ වික්ටර් ගුණසේකර නම් තරුණයෙකු සමඟ ය.ගුස්තිනාගේ සුන්දරත්වය නිසා වික්ටර්ගේ සිත ඇයට යොමු වූවේය.

                                                ගුස්තිනා ජීවිතය ගෙනයනු ලබන්නේ බොහෝ බාධා අතරමැදය.ඇයගේ රුව සුන්දර වීමත් සමඟ පිරීමින්ගේ නෙත් ඇය දෙසටම ඇදෙන්නට විය.මධුවිතින් මත් වූ ජොරණිස් ගුස්තිනාව කුඩම්මා කර ගැනීමට අවශ්‍යය බවද පවසයි.මෙම වියවුල් පසුබිම් හමුවේ ඇයට තවදුරටත් එහි රැදීමට නොහැකි වූයෙන් ඇය එතනින් පැන යයි.නමුත් කැරොලින්ගේ පෙම්වතා වූ වික්ටර් ඇය පසුපස ලුහුබදියි.ඇයගේ වාසනාව සොයා එන්නේ මෙම අවස්ථාවේදී ය.රික්ෂෝවක පැමිණි රිටිගල නම් තරුණයෙක් ඇයව ගුඩ්වින් නෝනාගේ නේවාසිකාගාරයට යොමු කරයි.ඇය ඔහුව ගුස්තිනාට හඳුන්වා දෙන්නේ මාර්ෂල් නමිනි.මෙහිදී මොවුන් දෙදෙනා තුළ ප්‍රේමයක් මුහුකුරා යනු දැකිය හැකිය.මෙහිදී මාර්ෂල් එංගලන්තයට යන්නේ පැමිණි වහාම ඇයව විවාහ කරගන්නා පොරොන්දුව ඇතුවය.

                                          වික්ටර්ගේ සිත තුළ ගුස්තිනා කෙරෙහි හටගත් ප්‍රේමයේ නිමක් නාමැත.මාර්ෂල් එවූ ලිපි වෙනස් කරවා ගුස්තිනාට ලබාදීම,එතනින් පැනගොස් විජේසූරිය පාදලි තුමාගේ ගෙදර ගිය විට එහිදීද් ගුස්තිනාවම පැතීම යනාදිය පෙන්වාදිය හැකිය.එමෙන්ම වික්ටර් කැරොලින් ලවා පියාට වස දී මරවා ඇයවද හිරේ යවයි.මේ සියල්ල සිදු වූයේ වික්ටර් තුළ ගුස්තිනා කෙරෙහි හටගත් ප්‍රේමය මතය.ඇග්නස්ගේ හිත මාර්ෂල් කෙරෙහි බිදෙව්වද ඇය ඔහුගේ දියුණුවම පතයි.රිටිගල හා පාදලි පවුල ඉතාමත් හිතමිතුරන් ය.ඇය ඔවුන් සමඟ රිටිගලගේ නිවසට යන අතර එහිදී රිටිගල දකියි.මෙම අවස්ථාව ඇයගේ අනාගතය බොහෝ වෙනස් කළේය.මෙහිදී ඇයට ඇයගේ පියාවද හිමි විය.ඔවුනොවුන් ලේ ඥාතීන් බව පසක් වන්නේ මෙහදී ය.මෙතෙක් කල් විවෘත කර නොතිබූ යන්ත්‍රය විවෘත කළ අතර එමගින්ද ඇයගේ අනාගතය පැහැදිලි විය.මෙතෙක් කාත්කවුරුත් නැත්ව අසරණව සිටි ඇයට මහත් ලෝකයක් හිමිවිය.රිටිගල හා ඇයගේ විවාහයද සිදු විය.

                                     මෙහිදී භාෂාව පිළිබඳව විමසීමද වැදගත් ය.අරක්කැමි ජොහානා ගුස්තිනාට කියන මෙම වදන් විමසිය හැකිය.

"මොකද මේ ලෑස්ති වෙලා ඉන්නේ දිවිදෙන එකක රවුමේ යන්නද?"

                                       මෙහිදී එවන් නපුරු නාමයක් භාවිතා කරමින් කැරොලින් හඳුන්වනු ලැබුවේ ඇයගේ නපුරු චරිතය පාඨකයන්ට ඒත්තු ගැන්වීම උදෙසා ය.එමෙන්ම වික්ටර් ඇයට ප්‍රේමය කරන බව වික්ටර්ගේ මෙම සිතුවිල්ලෙන් පෙන්වාදිය හැකි ය.

"අහෝ!මැයගේ මුහුණ සිඹ මෙස අවුල බේරන්නට ඇත්නම් "

                                       විජයසූරිය නෝනා ගුස්තිනාව මාර්ෂල්ගේ මතකයෙන් මුදවන්නට මෙවන් වදන් ප්‍රකාශ කරයි.

"ඔය එක මාර්ෂල් කෙනෙකු නැතිවාට ලෝකයත් තරැණයන්ගෙන් හිස් ද?"

                                       නමුත් ඇයගේ ප්‍රේමය එසේ අමතක කළ හැක්කක් නොවය.එබැවින් ඇය මෙසේ එයට පිළිතුරු දෙයි.

"මාර්ෂල් මහතාට මා ඇති කළ ප්‍රේමය මම්මා ඇත්කළාය කියන පන්බඩ මෙන් වැනෙන සුලු ප්‍රේමයක් නොව ස්ථීර එකක් බව සැලකුව මැනවි.වේයා විසින් ඉදිකළ තුඹස නැවත ඔහුටම බිදගත නොහැකිවා සේ මා ඉදිකළ ප්‍රේමය මට බිදගත නොහැකිව මම දැන් දුක්වෙමි."

                                       "ප්‍රේමවන්තය", "සොඳුර", "අහෝ", "අනේ", "මෑණියනි", වැන් විස්මයාර්ථ අපූර්ව වදන් මෙහි දැකිය හැකිය.කථන භාෂාව පවා ගෞරවාර්ථව යෙදී තිබෙනු දැකිය හැකිය.මෙම යථාර්ථරෑපීව සමාජය නිරූපණය නොවූ බව මෙමගින් දිස්වනු දැකිය හැකිය.
                                   

Monday, December 19, 2016

නවකතා මතකයන්...තෙරීසා

තෙරීසා - ඒ. සයිමන් ද සිල්වා



                                                   ඒ. සයිමන් ද සිල්වා සූරීන්ට දෙවන සිංහල නවකතාව වෙනුවෙන්ද තුති හිමි වෙයි. ඔහු විසින් රචිත "තෙරීසා" දෙවන සිංහල නවකතාව ලෙස හඳුන්වනු ලබයි.ප්‍රථම විවාහයේ බිරිඳ මිය යාම හේතුවෙන් පීරිස් මහතා දෙවන විවාහයක් කරගනු ලබයි.එතරම් වයසකින් යුක්ත නොවන ඇයට තෙරීසාගේ කුඩම්මාගේ කර්තව්‍යය කිරීමට නොහැකි ය. ඇයට අවශ්‍යය වන්නේ අලංකාරව හැඳපැළඳ විනෝද උත්සව, හිතමිතුරු සාද වලට සහභාගි වෙමින් සුවසේ විසීම ය.තෙරීසා මේ පිළිබඳව ඉන්නේ ඉමහත් කළකිරීමෙනි.ඇය ගෙදර සුරතලා වූ බර්ටි නම් බල්ලා සමඟ යෙදෙන මෙම සංවාදයෙන් ඒ පිළිබඳව වටහා ගත හැකි ය.

                                                    "ඉතින් මාගේ සුලුමෑණියෝ උඹෙන් ගුරුකම් ගන්නවා නම් කොපමණ හොඳද, ඇගේ කිසිම ක්‍රියාවෙක අවඬක ගුණයක් ඇතැයි කියන්න නුපුළුවන් වෙයි.මා ඉදිරියෙහි මාගේ මෑණියන් සෙයින්ම ආදර සැලකිල්ලෙන් පැවත මා නැති වූ කල බොරු දොස් නගා මගේ පියාගේ සිත මා කෙරෙහි දූෂ්‍ය කරවන්ට උත්සාහ කරන්නී ය.ඇයගේ ඇවතුම් පැවතුම්  වලට ගැළැපෙන රෝනල්ඩ් නම් තරුණයා ඇයට විවාහ යෙ‍ා්ජනා කරවන්නේ එම නිසා ය.රෝනල්ඩ් නිරන්තරයෙන් තෙරීසාගේ නිවසට එන්නේ තෙරීසා දකින අපේක්ෂාවෙනි.නමුත් ඇය ඔවුන්ගේ එවන් හැසිරීම් රටාවන්ට අකමැති ය.

                                                   "සමහර විට උඹ මේ තරම් ඉක්මනින් සැරසී ඇවිත් තිබෙන්නේ ඈත් යාය යන බලාපොරොත්තුවෙන් වෙන්ට හැකි.එහෙමනම් උඹේ ප්‍රීතිය වැළකුණා ගැන මගේ අවංක කනගාටුව ප්‍රකාශ කරමි."   යනුවෙන් පීරිස් නෝනා රෝනල්ඩ් ට ප්‍රකාශ කරනු ලබයි. තෙරීසාගේ හා මෙම සමාගමේ පවතනා දූරස්ථ භාවය මෙයින්පැහැදිලි .පීරිස්  නෝනා පුරුෂ පාර්ෂවය කෙරෙහි බොහා් ප්‍රියතාවයක් දක්වන්නියකි.ඇය තෙරීසාගේ ස්වාමියා කර දීමට කටයුතු කරන පුරුෂයාටද මේ අයුරින් සල්ලාපයේ යෙදෙන්නේ එබැවිනි.
                         
                                                     "ආ රෝනල්ඩ් උඹ කෙතරම් සිනිඳු වචන පවසන සූර සොරෙක්ද?මම තරුණ ස්ත්‍රියක් නම් උඹේ ප්‍රිය තෙපුල් කෙරෙහි ඇලෙනවා නොවෙම්දැ". පීරිස් නෝනා සමඟ බැලූ විට තෙරීසා බොහෝ තැන්පත් ආගමානුකූලව දිවි ගෙවන පොත් පත් කියවන ඉතාමත් ආදර්ශ සම්පන්න වූ චරිතයකි.පීරිස් නෝනාගෙන් රෝනල්ඩ්ට ලැබෙන්නේ සල්ලාල විනෝදකාමී දිවියකට ඇරයුම් වුවද තෙරීසාගෙන් ඇයට ලැබෙන්නේ ප්‍රයෝජනවත් දිවියකට මඟ පෙන්වීම් ය.ඇය ඹහුට කියා දෙන කවි මතකයේ තබා ගැනීමෙන් පැහැදිලි වන්නේ රෝනල්ඩ් යනු නිවැරදි මාර්ගයේ ගමන් කරවිය හැකි පුද්ගලයෙකු බවය.තෙරීසා කියූ කවි රෝනල්ඩ්ගේ මතකයේ තිබෙනු දකින විට ඇය ඉතාමත් සතුටට පත් වෙයි.

                                                         "රෝනලිඩ් සත්තකින්ම උඹ ඒවා සිතේ දරාගනිතැයි මම විශ්වාස කළේ නැහැ. උඹට ඒවා පාඩම් නම් මම ඉතාම සතුටු වෙමි."

                                                            ඔහුට නිවැරදි මාර්ගය වැසී යාමට හේතුව කුඩම්මා ය.තෙරීසාගේ කවි ඉගැන්වීම් මතක තබාගත් ඔහුට පීරිස් නොනාගෙන් ලැබෙන්නේ මෙවැනි ප්‍රතිචාරයකි.

                                                            "ආ රෝනල්ඩ් රෝනල්ඩ්,උඹ දැන්මම ඇගේ කීකරු වූ ගෝලයෙක් වගේ පෙණේ.ඉතින් තව ඉගෙනගන්ට තිබෙන්නේ නවගුණ වැල ගණන් කිරීම පමණයි.එතකොට උඹ කොපමණ උපාසක බළලෙක් වන්නෙහිදැ".

                                                              ඔහුව තෙරීසා විවාහ වනු කැමති වුවද  ඇගේ සමාගමෙහි ඇලෙමින් ඇය හා යහපත් දිවියක් ගත කරනු දැකීම පීරිස් නෝනාගේ අපේක්ෂාව නොවය.පීරිස් නෝනා තම ස්වාමියාට ඔහුගේ දියණියට ආදර්ශ වූ චරිතයක් වීමට නොහැකි විය.ඇය වෙන පුරෂයන්ගේ සමාගම අපේක්ෂා කළේ ය.ස්වාමියා නොමැති අවස්ථාවල ඔවුන් ගෙදරට කැඳවා ගතතා ය.වෝල්ටර් යනු එවන් පුද්ගලයෙකි.පීරිස් මහතා අසනීප ව සිටීමෙන් පසුව ඇය වෝල්ටර්ගේ සමාගම අපේක්ෂා කරයි.එමෙන්ම ඇය රෝනල්ඩ්ව සිය සමාගමෙන් ප්‍රතික්ෂේප වෙයි.තෙරීසා පවසන මෙම වදනින් එය ප්‍රත්‍යක්ෂ වෙයි.

                                                             "මගේ සුලුමෑණියෝ පෙර මට සිනාසුනාක් මෙන් දැන් උඹටත් සිනාසෙමින් විහිලු කියති.ඈ වැනි සැහැල්ලු සිත් ඇති අය කියන දේ ගැන අප විසින් යටිසිතින් සිනාසිය යුතුය."

                                                             තෙරීසා බුද්ධිමත් තරුණියකි.ඇය ජීවත් වන්නේ වර්තමානයට ,අනාගතයට ගැලපෙන අයුරිනි.අවසානයේ වෝල්ටර්ගේ පෙර විවාහක භාර්යාව හමුවීමෙන් පසුව පීරිස් නෝනා තනි වෙයි.ඔහු එවූ ලියුම කියවීමෙන් ඇගේ ජීවිතයම මලානිකව යයි.නමුදු තෙරීසා හා රෝනල්ඩ්  ඇයව හොදින් රැක බලා ගන්නේ අවසානයේ හෝ නිවැරදි මාර්ගයට ප්‍රවේශ වූ ඇයව කෘතිය අවසානයෙ සුදු චරිතයක් බවට පත් කරමිනි.