හෙවනැල්ල - සිරි
ගුණසිංහ
1960 දී සිරි ගුණසිංහ විසින් රචිත හෙවනැල්ල නවකතාව සිංහල නවකතා ඉතිහාසයේ
හමුවන පළමුවන මනෝවිද්‍යාත්මක නවකතාව සේම එම යුගයේ විඥාන ධාරා රීතියට අනුව ලියවුණු
සාර්ථකම නවකතාවයි. මීට පෙර සිංහල නවකතා දෙක තුනකම මනෝවිද්‍යාත්මක රචනා ක්‍රමය
භාවිතා කර තිබුණ ද ඒ එකම නවකතාවකවත් හෙවනැල්ලේ තරම් ක්‍රමවත් ලෙස මේ රචනා ක්‍රමය
භාවිත කර නැත. හෙවනැල්ල වැදගත් අදහසක් ගැබ්කොට ගෙන රචනා කර තිබෙන ග්‍රන්ථයකි.
ජිනදාසගේ සිතුවිල් ඔහු ලවාම සිතීමට ඉඩ සලස්වමින් කතුවරයා විඥානධාරා රීතිය භාෂා
උපක්‍රමයක් වශයෙන් නොව වස්තු විෂය වශයෙන් යොදාගනිමින් නිර්මාණය කරන ලදී.
ප්‍රධාන චරිතය වන ජිනදාස නිරූපණය කිරීමට සම්පූර්ණ පොතම මිඩංගුකොට තිබේ.
ජිනදාස ඉතාම සුකුමාල මනසක් ඇති ආධ්‍යාත්මය කෙරෙහි යොමුවුණු සිතක් ඇති තැනැත්තෙකි.
මේ කරුණු නිසා ඔහු සහජයෙන්ම යහපත් ගුණධර්ම ඇති ළමයෙකු වෙයි. ඔහුගේ ළමා පරිසරය නිසා
මේ ගතිගුණ තවතවත් තහවුරු වේ. ඔහු මවගෙන් පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් සැමවිටම
උපදෙස් ලබන්නේ හොඳ ගතිගුණ වගාකර ගැනීමටත්, යහපත් ලෙස හැසිරීමටත්ය.
“ජිනදාස උප්පත්තියෙන්ම හොඳ ළමයෙකි. ජිනදාස
තරම් ගුණයෙන් සීදේවී දරුවෙක් හතරගම්මානෙත් නොසිටියේය. ගමේ කවුරුත් කීවේ ජිනදාසගේ
ගුණයහපත්කම ගැනය. තම වයසේ අනික් ළමයින්ගේ කෙළි සෙල්ලම්වලට ඔහුගේ කිසිම අසාවක් නැත.”
ජිනදාසගේ මව උපාධි අපේක්ෂකයෙකු වූ
විජේපාලද, විශ්වවිද්‍යාල ශිෂ්‍යයාවක වූ කාන්ති හා පුවත්පත් කලාවේදියෙකු වූ ජයරත්න
යන සෙසු චරිතයන්ද, ජිනදාසගේ චරිතය විකාශය කිරීමට ගුණසිංහයන් යොදාගෙන ඇත. ළමා
පරිසරයේ සංකේතයන් වන මව, ජිනදාසගේ චරිතය කෙරෙහි බලපාන ප්‍රබල බලවේගයක් බව කිව
හැකිය. ළමා කාලයේදී ජිනදාසගේ සිතුම් පැතුම් මිනිස් ජීවිතය කෙරෙහි පහලවන අදහස්
නැතහොත් ඔහුගේ සම්පූර්ණ චරිතයම මවගේ බලපෑම මත හැඩගැසුණි. මවගේ චරිතය හෙවනැල්ලක්
මෙන් ඔහු පසුපස ගමන් කරමින් ඔහුගේ ජීවිතය කෙරෙහි තදින් බලපාන බැවින් එයින් ඔහුට
ගැලවිය නොහැක. ළමා කල ගතකළ හුදකලා ජීවිතය නිසා ජිනදාස තම මවගේ සේයාවක් බවට
පරිවර්ථනය වේ.
“ජිනදාසගේ එකම උපදේශකයා අම්මාය. ඔහුගේ
අස්සක් මුල්ලක් නෑරම ඇත්තේ ඇගේ සේයාවයි.”
ජිනදාස අනිත් තරුණයන් මෙන් නොව සමාජයේ හැසිරීමට ලැජ්ජාශීලී ඇත්තෙකි. අනිත්
තරුණයන් මෙන් විනෝදවීමට, කාන්තා ඇසුරට, මත්පැනට ආශා කළද, ගමෙන් උපන් සිතුවිලි හා
මවගේ සේයාව ඔහු රජයන හෙයින් එම ආශාවන් යටපත් කරමින් ජීවත්විය.
“මට මෙතන අල්ලන්නෙ නැත්තෙ විජේ වෙන එකක්
හන්ද නෙමෙයි. මෙතන ඉන්නෙ ඔක්කොම මහ වල්ලු හන්ද. මුන් මහ සංවරයක් නැති ඈයො. මුන්
දන්නේ හූ කියන එකයි, කුණුහරුප කියන එකයි විතරයි.”
“තමුසෙට මෙතන අල්ලන්නෙ නැත්තෙ අපි වල්ලු
හන්ද නෙමෙයි. වලෙක් වෙන්න තමුසෙ බය හන්ද. දන්නවැයි? ”
“ඔව්
බය තමයි. තමුසෙට සිගරට් බොන්න හොඳටම ආසයි. නැහැ කියනව. තමුසෙට කෙල්ලෙක් යාළුකරගන්න
හොඳටම ආසයි. නැහැ කියනව. ඒ උනාට තමුසෙ බයයි. ”
විජේ පවසන්නේ ඇත්ත ය. ජිනදාසට කල්පනා
කර බැලූ විට ඒ බව වැටහෙයි. ඔහුගේ යටපත් කොටගෙන තිබූ ආශාවන් ප්‍රෙක්ෂකයා හඳුනාගන්නේ
මෙම අවස්ථාවේදී ය.
“කාන්ති
එක්ක මම කොහොමද එදා කතා කරන්න පටන් ගත්තෙ? විජේ තමයි ඒකටත් මග පාදල දුන්නෙ. විජේ
හොඳ එකා. කොහොමහරි මාව ඇදන් ගිහිල්ල කාන්ති ළඟින්ම වාඩි කෙරෙව්වනෙ. හොඳ එකා.”
ඔහු කාන්තිට ඔහුගේ යටි සිතින් ආදරය කරයි.
එනමුදු එය භාහිර ලෝකයාට පෙන්වීමට තරම් ශක්තියක් ඔහු සතු නැත. නවකතාව හෙවනැල්ල
යනුවෙන් නම්කොට තිබීම ජිනදාසගේ ළමා ජීවිතය අත්දැකීම් සංකේතානුසාරයෙන් දැක්වීමට
තැත්කිරීමකි. මේ සංකේතය එතරම් සියුම් අන්දමින් යොදා නැතත්, නවකතාවෙන් කියවෙන
අත්දැකීම් සාරවත් වීමට එය යම්තරමක් දුරට උපකාරී වේ. ජිනදාසගේ මව හෙවනැල්ලක් සේ
ජිනදාසගේ පිටුපස ගමන්කරන සැටි විචිත්‍රාකාරයෙන් නවකතාවෙන් විස්තර වේ.
කතුවරයාගේ කෞෂල්‍ය ඉතාම ඉස්මතුවී
පෙනෙන්නේ භාෂාව භාවිත කර තිබෙන අන්දම සලකා බලන විට ය. වචන තෝරා ගැනීමේ සිට ගැළපීම
දක්වාම තිබෙන සියුම් හැඟීමත් සංයමයත් අතින් බොහෝ සිංහල නවකතා ගැන සිතා බලන විට
හෙවනැල්ල පුදුම දනවන සුළුය. ජිනදාසගේ අභ්‍යන්තර ජීවිතය පිළිබඳ දීර්ඝ විස්තර වලදී
කතුවරයා කතා ව්‍යවහාරයේ දක්නට ලැබෙන වචන මාලාවත් ලයත් සාර්ථක ලෙස භාවිත කර තිබේ.
එදිනෙදා ජීවිතයේ උපුටා ගත් චිත්ත රූප භාවිත කිරීම භාෂාවේ තවත් වැදගත් ලක්ෂණයකි. මේ
චිත්ත රූප මගින් අදහස් හා හැඟීම් නියත ලෙස ප්‍රකාශ කිරීමට හැකි වී තිබේ.
හෙවනැල්ල
නවකතාව සීමිත ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය නිරූපණය කරයි. ජිනදාසගේ සිත තුළ පහළවන
හැඟීම් සියල්ලක්ම අප හමුවේ තැබීමටත් කතාවේ අන් චරිත පිළිබඳ අභ්‍යන්තර විග්‍රහයට
කතුවරයා නොහැසිරවීමටත් මෙම දෘෂ්ටි කෝණය උපයෝගී කරගෙන තිබේ.
හෙවනැල්ල
නවකතාවේ කතා වින්‍යාසය ආරම්භවන විට ජිනදාස විශ්වවිද්‍යාලයට ඇතුල්වූවා පමණි. ඔහුගේ
ළමා පරිසරය අතීතය හා සම්බන්ධ වැදගත් පුවත් කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් නිරූපණය කර
තිබේ. ඔහුගේ ළමා ජීවිතෙයේ සෑම අත්දැකීමක්ම මව ප්‍රධාන කොට ඇති ඒවාය. මව ඔහුගේ ළමා
පරිසරයේ සංකේතයක් වන අතරම ඈ ඔහුගේ ජීවිතය කෙරෙහි බලපාන බලවේගයන් අතුරින් ඉතාම
පසුපස සෙවනැල්ලක් මෙන් ගමන් කරයි.
හෙවනැල්ල
ගමින් නගරයට විශ්වවිද්‍යාල සංස්කෘතියට බව එහි සැරිසරන විශ්වවිද්‍යාල සමාජ පසුබිම
කේන්ද්‍රකොටගෙන ගොඩනැගුණු නවකතාවකි.
කතුවරයා
ජිනදාසගේ චරිතය තුළින් ජීවිතයේ යථාර්ථය ස්වරූපය අව්‍යාජව නිරූපණය කර ඇත. ජිනදාසගේ චරිතය
වටා මෙහි සෑම චරිතයක්ම බැඳී පවතී. හුදකලා වූ නිහඬ චරිතයක් ජිනදාස තුලින් ඉස්මතු
වූවද, ඔහුගේ යටි සිටත සහ උඩු සිත ද්විත්ව ආකාරයෙන් නිරූපණය වේ. හෙවනැල්ල කතාව
අවසානයේ අපට හමුවුනේ යා යුතු කොහේද? කළ යුතු කුමක්දැයි තේරුම්ගත නොහැකිව ජීවන
මාවතේ අතරමං වූ තරුණ ශිෂ්‍යයකු වූ ජිනදාසය. අවසන් ඡේද කිහිපයෙන් කියවෙන්නේ කතාවේ
තේමාවයි. ජිනදාස අතීතයෙන් පලා යා යුතුය. ජීවිතය නොබිඳුණු බලාපොරොත්තුවකි. එහෙත්
තමාගේ හෙවනැල්ලෙන් ඔහුට ගැලවිය නොහැකිය.
No comments:
Post a Comment