Wednesday, January 11, 2017

නවකතා මතකයන්...කරුමක්කාරයෝ

කරුමක්කාරයෝ - ගුණදාස අමරසේකර

            

              මව නොමැති පවුලේ අයියාද, අක්කාද, මල්ලීද, තාත්තාද ජීවිතය ගෙන යන්නේ සියලු අග හිඟකම් හමුවේ වේ. අයියා සෝමා නම් කාන්තාවක් විවාහකොට ගනු ලබයි. ඔහු සෝමාව විවාහ කරගැනීමෙන් පසු ඔවුන්ගේ රැකියා මාර්ගය වන කඩය ද, දියුණුවට පත්වෙයි. සොහොයුරිය නිවසින් පිටවී දෙණිය මහත්මයාගේ ගෙදර යන අතර, ඔහුගෙන් දරුවකු ලැබී රත්නපුර ගොස් ලැබුණු දරුවා අරන් හදා ගැනීමට දී කොළඹ යයි. සෝමා ප්‍රේමය කරන්නේ මල්ලීට ය. මල්ලීව සෝමා බලෙන් වරදට පොළඹවා ගැනීමට උත්සාහ කරයි. මෙබැවින් ඔහුත් ඇයට ප්‍රිය කරයි. මෙහි සිදුවන රසවත්ම සිදුවීම නම් ප්‍රේක්ෂකයා අවසානයේදී පියාද ඇයට ප්‍රේමකොට ඇති බව දැනගැනීමයි. ඇයට අවසානයේ බඩට එන දරුවා තාත්තාගේද, පුතාගේද යන්න ගැටළුවක් බවට පත්කරමින් ප්‍රේක්ෂකයා තුළ කුතුහලයක් ජනිත කිරීමට මෙම නවකතාව තුළින් කතුවරයා සමත්වී ඇත.
            අක්කා ගෙදරින් පිටත්වීමට හේතුව අම්මාගේ මාලය සෝමාට කතරගම බැඳගෙන යාමට ඉඩදීමය. අක්කා ගෙදරින් පිටවන්නේ පවුලේ ඇත්තන් තුල වෛරය සිත තුල තබාගනිමිනි. සෝමාගේ පැමිණීමත් සමග මෙම පවුලේ වෙනස්වන සිදුවීම් පුදුමාකාරය.
“අපේ කඩේ දියුණුවත්ම තාත්තාද පෙනීමෙන් දියුණු වූයේ කෙසේදැයි මම නොදනිමි. ඔහුගේ මුහුණ දැන් පෙරටද වඩා තරුණ භාවයක් උසුලයි. ඔහු රැවුල කැපුවේ උඩු රැවුල මදක් තබමිනි. එහෙත් දැන් ඔහු එයද කපා ඇත. එබැවින් ඔහුගේ මුහුණ දැන් පෙරටද වඩා තරුණ භාවයක් උසුලන්නේ. තාත්තාගේ මුහුණෙහි මෙන්ම හිතෙහිද තරුණ භාවයට පැමිණියේ අපේ කඩේ වහ වහා දියුණු වූ නිසා යැයි මම සිතමි.
            තාත්තාගේ මෙම වෙනස්වීමත් සමග ඔහු තුල මතුවන ජවසම්පන්නතාවත් සමග වැඩිමහල් සොහොයුරාගේ බෙලහීනතාවද ප්‍රකට කිරීමට කතුවරයා සමත්ය.
“අයියා දැන් පෙරටද වඩා හකුලාගත් ඇඟපතින් යුතුව ජීවත් වෙයි. ඔහුගේ ඇඟපත මෙන්ම සිතද අඳුරු ලෙනකට වැදුණු එකෙකුගේ මෙනැයි මට සිතේ. ඔහු දැන් කතා කරන්නේ පවා මද වශයෙනි. ඔහු කෙතරම් හැකිලී ඈත්වී ඇත්ද කිවහොත් ‘අයියා’ යන සංඥාව මිස ඔහුගේ රූපය හෝ සලකුණ මගේ සිතෙහි ඇඳී ඇත්තේ යන්තමිනි.
පියාගේත් වැඩිමල් සොයුරාගේත් ජීවිතය මෙසේ ගලා යද්දී තමන් දකින අත්දැකීම් කථකයා ඉදිරිපත් කරන්නේ පාඨකයා තුළ කතාවේ ඉදිරිය දැනගනු පිණිස කුතුහලය ජනිත කරවමිනි.
“මම ඈ සෙමෙන් මගේ ඇඟට හේත්තුකොට ඇගේ මුහුණත්, පියවුරුත්, ඇගේ බඩත් මහත් ආදරයෙන් සිම්ඹෙමි. සියල්ල නිවී සැඟවී ජීවිතය තෘප්තිමත් යයිද මට ඒ වෙලේහි සිතිණි.
            එකම පවුලේ පිරිමින් තිදෙනෙකුගේ නේත්‍රාකර්ෂණය ලබාගනිමින් නිවසේ ඉන්නා සෝමා කතාවෙහි අපූරු චරිතයක් බවට පත්වෙයි. ඇය නිතරම මල්ලීට කියන්නේ තාත්තා ගැන නොබලා බදු හේනක් අරගෙන යමු කියායි. එමෙන්ම ඇය කවදාවත් තාත්තාට තාත්තා යනුවෙන් ආමන්ත්‍රණය කොට නැත. ඇය තාත්තාටද සම වයසේ පුද්ගලයකුට මෙන් කතා කරයි. තාත්තාද කවදාවත් ලේලි, දුව යනුවෙන් අමතා නැත. ඔහු ඇයට පවසන්නේ කෙල්ල යනුවෙනි.
            අයියා සෝමාව රැගෙන යන්න පැමිණි විට පියා පවසන්නේ ඇය උඹේ ගෑනි නොව මගේ ගෑනි බවයි. පියා බාල පුතණුවන්ට ද වෙන කසාදයක් කර දෙන්නේ සෝමාගේ ග්‍රහණයෙන් මුදවාගනු පිණිස බව පියාගේ චරිතය නිරූපණය කිරීමේදී මනාලෙස පැහැදිලි වේ.
            අවසානයේදී සෝමාද ඇගේ දරුවාද මිය යන අතර, තාත්තා නිවසින් පිටවී යයි. අක්කාද, අයියාද නැවත නිවසට පැමිණේ.
            අතීත සමාජයේ බහු විවාහ ක්‍රම දැක ඇත්තද, පිය පුතු විවාහය සඳහා එක් භාර්යාවක් තබා ගැනීම දැක නැත්තෙමු. ඔවුන් ලැබූ දියුණුවද, ඉතාමත් තාවකාලික වූවක් විය. මධුවිත ද, ස්ත්‍රිය ද, තාවකාලික සංතුෂ්ඨිය සඳහා බිහිවූවක්ම බව මෙයින් ගම්‍ය කළ හැක.

            මෙය චිත්‍රකතා පොතක් මෙන් විචිත්‍රවත්ව සකසා ඇත. සෑම කොටසකම පටන් ගන්නා ආරම්භ කොටසට අයත් ප්‍රධාන සිදුවීම චිත්‍රයක් මගින් නිරූපිත වීම සුවිශේෂ ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය. කාන්තා මායමට හසු වී මෙම පුරුෂයන් තිදෙනා ජීවිතය අඳුරුකර ගැනීම අනාගතය දියුණුව අහුරා ගැනීමම කරුමක්කාරකමක් ලෙස පාඨක ඇසින් පෙන්වා දිය හැකිය.

No comments:

Post a Comment